යහපාලන රජය ඉදිකල ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ජන අයිතියට (විඩියෝ)

දෙසැ 09, 2018

    කෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ.

    ඒ යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය අද (09) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිනි.

    තම නිෂ්පාදන ගබඩා කර තැබීමට ස්ථානයක් නොමැතිවීමත්, අධික ණය බරත් හේතුවෙන් අස්වනු නෙළිමත් සමගම එම අස්වනු අඩු මිලකට පෞද්ගලික අංශයට අළෙවි කිරීමට ගොවි ජනතාවට සිදුව තිබේ. එබැවින් එම අස්වනු සඳහා සාධාරණ මිලක් හිමි නොවන අතර අතර මැදියන් එමගින් විශාල ලාභයක් උපයයි. ගොවි ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණදෙමින් සිටින මෙම ගැටලූවට විසදුම් ලබාදෙමින් මෙම නව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවුණු අතර මෙය ඉදිරියේදී දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බවත්, වී නිෂ්පාදන සඳහා පමණක් නොව පළතුරු සහ එළවලූ නිෂ්පාදන සඳහා ද මෙම ගබඩා පහසුකම් ඉදිරියේ දී හඳුන්වාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    අහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවට මෙන්ම වී මිල පහත බැසීමේ ගැටලූවට ද මෙමගින් විසඳුම් හිමිවන අතර නිෂ්පාදකයා ගසා කෑමකට ලක්වීම වළක්වමින් ඉල්ලූම්කරුගේ මිලට නොව නිෂ්පාදකයා නියම කරන මිලට අස්වනු අළෙවි කර ගැනීමට මේ සමග ගොවි ජනතාවට අවස්ථාව උදාවන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, අම්පාර දිස්ත්‍රික්කවල ගොවි ජනතාව මුහුණදුන් ජල ගැටලූව සහ එම ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලූව සම්පූර්ණයෙන් අවසන් කිරීමට මොරගහක්නද වාරි ව්‍යාපෘතිය සමග හැකියාව ලැබුණු බවයි. කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් ද මේ වන විට කඩිනමින් සිදුවන අතර ලබන ජූලි මාසය වන විට එහි කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වී මෙට්‍ර්ක් ටොන් 10,000 ක් ගබඩා කළ හැකි මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 313 කි. මෙම රාජ්‍ය ධාන්‍ය මධ්‍යස්ථානය කළමනාකරණය කිරීම ප‍්‍රදේශීය සංවර්ධන බැංකුව විසින් සිදු කරනු ලබයි. ස්වභාවික හා යාන්ත්‍රිකව ධාන්‍ය වේලීම, ගබඩා කරන ධාන්‍යවල ගුණාත්මක භාවය සහතික කිරීම, විධිමත් ඇසුරුම් ක‍්‍රම සැලසීම මගින් කෘමි හා අනෙකුත් සත්ත්ව හානි වළැක්වීම මෙම මධ්‍යස්ථානය මගින් ඉටුවන අතර මෙම ධාන්‍ය මධ්‍යස්ථානය රක්ෂණය කර තිබීමෙන් එම ගබඩා කර ඇති ධාන්‍යවල ආරක්ෂාව සඳහා සහතිකයක් ද ලබා දෙනු ඇත. තවද ගබඩාගත බෝග සුරැකුම් ලෙස යොදාගෙන රාජ්‍ය බැංකු මඟින් අත්තිකාරිම් මුදලක් ලබාගැනීමේ පහසුකම් ද සපයා ඇත. ඒ අනුව ගොවීන් විසින් ගබඩා කරනු ලබන ධාන්‍යවල වටිනාකමින් සියයට 70 ක උපරිමයක් දක්වා අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට හැකි වීමෙන් ගොවීන් විසින් මුහුණ දෙන හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සියලූ පහසුකම් යටතේ ගබඩා කරනු ලබන ධාන්‍ය අස්වනු නෙලන කාලයේ දී විකුණා ගත හැකි ආදායමට වඩා වැඩි ආදායමක් සහ ලාභයක් අවාරයේ දී එම බෝග අළෙවි කිරීම මගින් උපයා ගැනිමට ගොවි ජනතාවට අවස්ථාව උදා වේ.

    මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන කිලෝ වෝට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන සූර්ය බල පද්ධතියකින් ක්‍රියාත්මක වන අතර අතිරේක බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිම ද විශේෂත්වයකි. ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

    පසුගිය කන්නගේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර ගොවීන් 3634 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි හත හමාරකට ආසන්න මුදලක් වන්දි වශයෙන් ප‍්‍රදානය කෙරිණි. එය සංකේවත් කරමින් ගොවීන් 20 දෙනෙකු වෙත වන්දි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. එමෙන්ම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය වෙත වී භාරදුන් ගොවින් තිදෙනෙකු වෙත ගුදම් කුවිතාන්සි පිළිගැන්වීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

    ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    paddy px 900 18 12 09

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News