කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයට‍; මසකට රු. මි. 27ක ඉතිරියක් (වීඩියෝ)

ජන 21, 2020
  • කෘෂිකර්ම අමාත්‍යාංශය මේ මස අවසන් වීමට පෙර බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙනයාමට නියමිතයි.

    එමගින් රජයට මසකට රුපියල් මිලියන 27ක් ඉතිරි වන බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරිණ. කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට අයත් සියලුම ඒකක එක් ස්ථානයක පිහිටුවීම තුළින් ගොවි ජනතාවට පහසුකම් සැලසීම බත්තරමුල්ල ගොවිජන මන්දිරය ඉදිකිරීමේ අරමුණයි. එය ස්ථාපනය කෙරුණේ, 1999 වසරේදී. 2015 වසරේ ආණ්ඩු පෙරලියත් සමඟ එවක රජය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු ආංශික කාරක සභාව පැවැත්වීම සඳහා භාවිත කිරීමට තීරණය කළේය. ගොවිජන මන්දිරය පැවති කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ඩී.පී. ජයසිංහ ගොඩනැගිල්ල වෙත ගෙන යාමට එවක අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මෙම ගොඩනැගිල්ල ලබාගෙන ඇත්තේ, මිල ගණන් කැඳවීමකින් තොරවයි. 2016 අප්‍රේල් මස 8 වැනි දින සිට 2021 අප්‍රේල් 7 දක්වා වසර 5ක් සඳහා එම ගොඩනැගිල්ලේ හිමිකරුවන් සමඟ ගිවිසුම්ගතව තිබේ. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ, මෙහි රාජකාරී ඉටු කිරීමේදී අවම පහසුකම් යටතේ සේවය කිරීමට සිදුව ඇති අතර, වාහන නැවැත්වීමේ පහසුකම් අවම මට්ටමේ පවතින බවයි. ගිවිසුම ඉදිරියටත් තිබුණ ද මේ මස අවසන් වීමට පෙර අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙන යන බව අමාත්‍යවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 20:11

    Latest News