රැකියා අපේක්‍ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැණෙන පරිදි රජයේ රැකියා සඳහා පත්කරනවා; ජනපති

ජන 19, 2020

    රැකියා අපේක්‍ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැණෙන පරිදි රජයේ රැකියා සඳහා පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    ඔවුන් හදාදා ඇති විෂය අනුව, අදාළ ක්‍ෂේත්‍රවල පත්වීම් ලබාදීමට නියමිතයි. දිවයින පුරා රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින්, පැමිණි පිරිසක් සහ ජනාධිපතිතුමා අතර හමුවක් අද උදේ පැවැත්විණ. ඒ, ජනාධිපති කාර්යාලයේදී. එහිදී ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස්කර තිබේ. එම පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කිරීමට නියමිතයි. රැකියාලාභීන්ට විධිමත් පුහුණුවක් හා අවබෝධයක් ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා...

    “ප්‍රථමයෙන් නායකත්ව පුහුණුවකුත්, දෙවනුව රාජ්‍ය සේවයේ දැනුම ලබාගැනීමටත්, තුන්වෙනුව රාජ්‍ය සේවය කියන්නේ ජනතා සේවයක්. ඒ වගේම ප්‍රධාන කාර්ය තමයි මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම. ඒ ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය විවිධ සේවාවන් පිළිබඳව අවබෝධයක් ලබාදීම, පුහුණු කාලය අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට බැඳෙන සියලු දෙනෙක්ම කරන්න ඕනේ. සියලුම උසස් පෙළ සමත්වන දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙන්නට මම ඉඩ සලස්වනවා. අවුරුදු තුනකට හතරකට පස්සේ ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් උපාධියක් අරගෙන එළියට එනවා. ඒ හැම එක්කෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් ලබාදෙන්නට පුලුවන් කමක් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් අපේ අධ්‍යාපන ක්‍රමයේ තවත් ලොකු වැරැද්දක්. පෞද්ගලික අංශයේ එපමණක් නෙමෙයි ව්‍යාපාරිකයෙක් වෙලා, සමාජයේම ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ හැකියාව ඒ අය එළියට එනකොට තියෙන්න ඕනේ.

    අද ලෝකයේ තියෙන උසස්ම විශ්වවිද්‍යාලවල ඒ අයගේ අවසාන අවුරුද්දෙදි ඒගොල්ලන්ගෙම කොම්පැණියක් හදාගෙන සමාජයට දෙනවා. මේක තමයි අපි අපේ විශ්වවිද්‍යාලවල කළ යුත්තේ. සෑම ශිෂ්‍යයෙක්ම අනාගත ආර්ථිකයේ කොටස් කරුවන් වෙන්නට පුලුවන් අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම ලබන්නට ඕනේ. අපේ සමාජයේ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි අපි ගැන අපි හරි අවතක්සේරු කරන්නෙ හැමවිටම. අපි අවදානමක් ගන්නේ නැහැ“ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.

    ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, කාංචන විජේසේකර, කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News