විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජන 17, 2020

    විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද (17) අළුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු අද අලුයම 3.30ට ඩුබායි සිට පැමිණි ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී 9 - 0507 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබිණ.

    ඔහු විසින් ගෙන ආ ගමන් මලුවල රුපියල් 6,50,000 ක් වටිනා මෙම බිස්නස් රෝයල් වර්ගයේ දුම්වැටි 10,800 ක් සගවා ගෙන රැගෙන විත් ඇති බව වාර්තා වේ.

    මෙම දුම්වැටි තොගය භාරදීමට තවත් පුද්ගලයෙකු පැමිණෙන තුරු ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී.

    Latest News