දෙමාපිය ආරවුල් නිසා මිලින වන මල් කැකුළු

අගෝ 26, 2019

    දෙමව්පියන්ට මෙලොව ඇති ඉහළම සම්පත දරුසම්පතයි. දරුවන් වෙනුවෙන් දෙමව්පියන් නොවිඳිනා දුක් විඳින්නේ ඔවුන්ගේ හදවත් තුළ දරුවන් කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසයි.


    මවගේ ලේ කිරට හැරී දරු පැටවුන්ගේ කුස පුරවනවා සේම පියවරුන්ගෙන් ලේ කිරට නොහැරුණු ද දරුවන් වෙනුවෙන් පියවරුන් දරන වෙහෙස මෙපමණ යැයි කිසිවෙකුටත් කිව නොහැකිය.
    දෙවන බුදුන් වන වදනින් අම්මා හැඳින්වෙන්නේද ලොව ඇති පූජනීය වස්තුවක් බවට මව පත්කරමිනි. තම උතුම්ම සම්පත දරුවන් බව අම්මාවරුන් සාක්ෂි සහිතව පෙන්වාදී ඇත. එවැනි උත්තරීතර බවට නිගා දෙන අයුරින් කටයුතු කරන මවුවරුන් ද නැතුවාම නොවේ. කිසිදු හේතුවක් නිසාවෙන් තවත් අයෙකුගේ ජීවිතයක් නැතිකරදැමීමට දෙමව්පියන්ට තියා ලොව කිසිවෙකුටත් අයිතියක් නැත.
    ඇතිදැඩි කරන දරු පැටවුන් දෙමව්පියන්ගේ ආරවුල් හේතුවෙන් ඛේදනීය ලෙස ජීවිතයෙන් සමු ගන්නේ නම් එහි වරද කාගේ දැයි සිතා බැලිය යුත්තේ අපමය.
    ඉකුත් විසිපස් වැනි දින උදෑසන හලාවත උඩප්පුව පොලිස් වසමට අයත් පල්ලිවාසල්පාඩු ගම්මානයේ අහිංසක මල් කැකුළු දෙකක් අකාලයේ මිලින වී ගියේ මහා ඛේදවාචකයක සමාජය ගිල්වමිනි.
    සිය බිරිඳ සමඟ උරනවූ සැමියා ඔවුන්ගේ දරුවන් දෙදෙනාට වස පානය කිරීමට සලස්වා ඔහුද ගෙල වැලලාගෙන මිය යන්නේ අඹුසැමියන් අතර වූ ආරවුලට දරුවන්ද එක් කරගනිමිනි.

    uda 01

    මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නේ අවුරුදු නමයක් වයසැති වර්ණකුලසුරිය විලියම් මැසෙව් හා අවුරුදු හයක් වයසැති, වර්ණකුලසුරිය එෂොන් නිම්රෝධ යන පිරිමි දරුවන් දෙදෙනාය. ඔවුන් කන්දතොඩුවාව සිංහල විද්‍යාලයේ 3 වසර සහ1 වසර ඉගෙනුම ලබමින් සිටියේය. වයස අවුරුදු තිස් එකක් වූ වර්ණකුලසුරිය අසංක සනත් මියගිය පියා වේ.

    uda 05

    පල්ලිවාසල්පාඩු ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තයයි.

    මියගිය සනත් ද රැකියාව වශයෙන් කළේ ධීවර කර්මාන්තය යි. සාර්ථකව රැකියාව කරන අතරතුර ඔහු ඊට යාබද ගම්මානයේ ජීවත්වන නිමේෂා දැන හඳුනා ගනී. මේ දැනහැඳින ගැනීමෙන් ටික කලෙකට පසු දෙදෙනාම එකම වහලක් යටට යන්නේ දෙපාර්ශවයම දෙමව්පියන්ගේ ආශීර්වාද මැදයි. ඒ මීට වසර දහයකට පමණ පෙරය. සතුටින් ගතකළ ඔවුන්ගේ කැදැල්ලට දරුවන් දෙදෙනකු එක්තු වන්නේ විවාහ වී වසර දෙකකට පසුව වන අතර දෙදෙනාම අපේක්ෂා කළ පරිදි දරුවන් දෙදෙනාම පිරිමි දරුවන් වීම ඔවුන්ට මහත් සතුටක් ගෙන දෙන්නක් විය.

    සනත් නිහඬ චරිතයකි. අන් අය සමඟ කතාබහ කිරීමේදී අවශ්‍ය දේ පමණක් කතා කිරීම ඔහුගේ ගුණාංගයක් විය. මෙසේ වසර කිහිපයක් ගෙවූ පසු ඔවුන්ගේ පවුලේ තිබූ සමගිය පෑල දොරින් පලා යන්නේ නිමේෂා වෙනත් සම්බන්ධයක් ඇති බව සැක සිතීම නිසාවෙනි. මේ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් අඩදබර ඇති වූ අතර එය පුංචි පුතුන් දෙදෙනාට මහත් පීඩනයක් ගෙන දෙන්නක් ද විය.

    සනත්ගේ මේ නිහඬභාවය හේතුවෙන් තමන්ගේ ප්‍රශ්න සහ ගැටළු අන් අයට කීමට ඔහුගේ සිත ඉඩ නොදුන්නේය. මේ හේතුවෙන් ඇති වූ සිත්තැවුල් හා පීඩාවන්ට විසඳුම් ලබා දුන්නේ ඔහු විසින්මය.
    පැවැති නිහඬභාවය නිසා බිරිඳ කෙරෙහි ඇතිවූ සැකය එන්න එන්නම වැඩි විය. ඒ වන විට සනත්ට නිමේෂාත් - නිමේෂාට සනතුත් නොරුස්සන ස්වරූපයක් හටගත්තේ ය. දෙදෙනා අතර සහසම්බන්ධතාවක් නැති හේතුවෙන් දරුවන්ගේ අඩුපාඩු සොයා බැලීම්ද සිදුවූයේ නැත. දෙදෙනාගේ අසමගිය හේතුවෙන් නිමේෂා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි වාර ගණන අනන්තය. පසුව මෙම දෙදෙනාගේ ගැටුම පොලිස් පොතේ සටහන් වනතෙක් දුරදිග ගියේය. පොලිසිය විසින් දෙදෙනාට අවවාද කළ අතර ඉකුත් 25 වන දින ඔවුනට සමථ මණ්ඩලයේ රැඳී සිටීමට සිදුවිය. ඒ අනුව සමථ මණ්ඩලයේ නිලධාරීන් හමුවේ උද්ගත වී ඇති ගැටලුව විසඳීමට කටයුතු කළ ද නිමේෂා නිවසට නොපැමි‍ණෙන බව පැවසුවාය. පසුව සැමියා විසින් නිවසට පැමිණීමට ඇයට ඇවිටිලි කළ ද දින කිහිපයකින් නැවත පැමිණෙන බව කියා සිටියේය. එම තීරණයට සනත් දැඩි කණස්සල්ලෙන් සිටියේය. අනතුරුව නිවසට පැමිණි ඔහු අසල වෙළඳ සැලකින් බීම වර්ගයක් ද රැගෙන එයට වස මිශ්‍ර කර දරුවන් දෙදෙනාට පානය කිරීමට දී අනතුරුව ලණුවක් ගෙන ගෙල වැළලා ගත්තේ ය. ටික වේලාවකින් නිවසට පැමිණි දරුවන්ගේ සීයා සිද්ධිය දැක මහත් කලබලයට පත්වී අසල්වැසියන්ට සිද්ධිය දැනුම් දුන්නේය. පසුව අසල්වාසීන් පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කළහ. ඒ වන වනවිටත් පිය සහ පුතුන් දෙදෙනාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු වී හමාරය.

    uda 04

    uda 06

    uda 02

    uda 03

    යම්කිසි ගැටලුවකදී මිනිසුන් විසින් ගන්නා තීන්දු තීරණ, මානසික, සමාජීය හා පාරිසරික යන සාධකවල බලපෑම් මත සිදුවන්නක් බව මේ සම්බන්ධව අදහස් දක්වන මනෝ වෛද්‍ය මහාචාර්ය ගාමිණී ජයසිංහ මහතා පවසයි. එමෙන්ම යම් කෙනෙකු කිසියම් විසඳාගැනීමට නොහැකි ප්‍රශ්නයක් තනියම විසදීමට උත්සාහ නොකර ඊට සුදුසු පාර්ශවයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවද ඔහු සඳහන් කරයි. එසේම මෙවැනි ප්‍රශ්නවලට නීතියට එහා ගිය මානුෂීය ලෙසින් විසඳුම් ලබාදීමට කටයුතු කිරීමෙන් මෙවන් වූ ඛේදවාචකයන් අවම කර ගැනීමට හැකි වන අතර මනෝ උපදේශන සේවාවන්ගෙන් සහය ලබා ලබාගැනීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව වැඩිදුරටත් සඳහන් කරයි.

    මිහිර විජේසේකර

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 17:20

    Latest News