ශාස්ත්‍රපති උපාධි සිහිනය හඹායන 94 හැවිරිදි ඇය...(වීඩියෝ)

ජූලි 13, 2021
  • ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයෙන් අප පසුගිය පෙබරවාරි 6 වැනිදා සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉදිරිපත් කළා.

    කාන්තාවක් වන ඇයගේ සිහිනය අද වන විට මල් ඵල දරා තිබෙනවා. ඒ තම අරමුණ වෙනුවෙන් අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් වයස ඉලක්කමක් පමණක් බව පසක් කරමින්.

    විද්‍යෝදය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් ඉකුත් පෙබරවාරි මස 6 වැනි දින පවත්වන ලද ත්‍රිපිටක ධර්ම සහ පාලි හා සංස්කෘත විභාගයට මහනුවර ඩී එස් සේනානායක විද්‍යාලයේ දී විශේෂ පුද්ගලයෙකු පෙනී සිටියා.
    ඒ 94 වැනි වියෙහි පසුවන ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මහත්මිය. ඒ වන විට ඇයගේ එකම සිහිනය වූයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය සමත් වීමයි. එදින ඇය විභාගයට පෙනී සිටියේ උපැස් යුවලක්ද නොමැතිව වීම විශේෂත්වයක්.

    ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අද එදා මෙම දිරිය කාන්තාව පිළිබඳ තොරතුරු ගෙන ආවේ ඇය රටටම ලබා දෙන ආදර්ශය පසක් කිරීමටයි.
    පසුගියදා නිකුත් කෙරුණු විභාග ප්‍රතිඵලවලට අනූව 94 වියැති ලීලාවතී ඇස්ලින් මහත්මියට ප්‍රථම, මධ්‍යම හා අවසාන යන විභාගවලින් ගෞරව සමාර්ථ හිමිව තිබේ. මේ ප්‍රතිඵලයත් සමග මෙවැනි වයසක එම විභාග සමත් වූ මෙරට එකම පුද්ගලයා ලෙස ලීලාවතී ඇස්ලින් මහත්මිය ඉතිහාසයට ද එක් වෙයි.

    විවාහ දිවියට එළඹ සත් වසරකට පසු සැමියා මරණයට පත්වුවද දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ඇය තම දියණියන් සිව් දෙනාටම උපාධිධාරීන් වන තෙක් අධ්‍යාපනය ලබා දීමට සමත්ව තිබෙනවා.

    අද දරු මිණිබිරියන් රැසක් මැද ආදරය විඳිමින් සිටින ඇස්ලින් මහත්මිය මේ වන විට තම එකම සිහිනය සැබෑ කර ගැනීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගයට සූදානම් වෙමින් සිටිනවා.

     

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 14:59

    Latest News