අලිමංකඩ කඳවුර බේරාගත් හසලක ගාමිණී දිවි පුදා අදට වසර 30යි

ජූලි 14, 2021
  • අලිමංකඩ යුද හමුදා කඳවුරට ත්‍රස්තවාදීන් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් වළකා ගැනීමට සිය දිවි පූජා කළ කෝප්‍රල් ගාමිණී කුලරත්න හෙවත් හසලක ගාමිණී රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 30ක් සපිරෙනවා. මේ ඔහු පිළිබඳ තැබෙන සටහනක්.


    1966 සැප්තැම්බර් 22 වනදා හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් රණවිරු ගාමිණී කුලරත්න 6 දෙනෙකුගෙන් යුත් පවුලේ 2වැන්නා විය. 1991 ජූලි 14 වෙනිදාට දින කිහිපයකට පෙර සිටම අලිමංකඩ යුද හමුදා කඳවුරු සංකීර්ණය වෙත ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාර වරින්වර එල්ලා වී තිබුනා. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලඇණිය එම කඳවුරේ ස්ථානගතව සිටි අතර එහි අණ දෙන නිලධාරියා වූයේ එවකට මේජර් සනත් කරුණාරත්නයි. ප්‍රහාර මධ්‍යයේ ජූලි 10 වැනිදා විශාල බුල්ඩෝසරයක් බංකරය තලා දමමින් ඉදිරියට ගියේ භට පිරිස් මවිතයට පත්කරමිනි. එය මීට පෙර මුහුණ නොදුන් අත්දැකීමක් බැවින් දැවැන්ත බුල්ඩෝසරය ගැන අධ්‍යයනය කිරීමට සෙබළුන්ට සිදුවී තිබුනා. එය තවදුරටත් ඉදිරි දිනවලදී තර්ජනයක් විය හැකිව තිබූ හෙයිනි. ඒ ගැන සොයා බැලීමේදී හෙළි වූයේ බුල්ඩෝසරය වෙඩි නොවදින ගනකම් තහඩුවලින් හා ආර්පීජී ප්‍රහාරය වැළැක්විය හැකි ආකාරයේ ශක්තිමත් දැලකින් ආවරණය කර තිබූ බවයි.

    කෙසේ වෙතත් එහි දුර්වල තැන් හඳුනා ගත් යුද හමුදාව බුල්ඩෝසරටය යළි පැමිණියහොත් ඊට කෙළෙස පහර දෙන්නේ ද යන්න ගැන දළ සැලසුමක් සකස් කර තිබුණා. එකොළොස් වැනි දා ත්‍රස්තවාදීන් අලිමංකඩ කදවුර වෙත ප්‍රහාර එල්ල කළ අතර එය සාර්ථකව මැඩ පැවැත්වූ හයවෙනි සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 12 වැනිදාත් ප්‍රහාරයක් අපේක්ෂා කළ ද එය සිදුවූයේ නැහැ.

    ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මනා සූදානමකින් පසුවූ සෙබලුන්ට මීට පෙර දුටු බුල්ඩෝසරය කඩා වැදුනහොත් ගතයුතු ක්‍රියා මාර්ග ගැන ද දැනුවත් කර තිබුණා. ජූලි 14 වැනිදා රාත්‍රි අඳුර වැටී මද වේලාවක් ගත වූ තැන පරන්තන් ලෙසින් වූ ආරක්ෂක වළල්ලේ සෙබළුන් දැනුම් දුන්නේ දැවැන්ත බුල්ඩෝසර කදවුර දෙසට පැමිණෙමින් ඇති බවයි. බුල්ඩෝසරයට ආවරණය වෙමින් වෙඩි ප්‍රහාර එල්ල කරගෙන පැමිණි ත්‍රස්තවාදීන් මරා දැමුවත් බුල්ඩෝසරයේ ගමන නතර කිරීමට වෙඩි ප්‍රහාර සමත් වූයේ නැහැ. RPG සහ RCL වැනි ප්‍රබල ප්‍රහාර එල්ල කළ ද බුල්ඩෝසරය කදවුර දෙසට පැමිණෙමින් තිබුණා.

    මීට පෙර සිදු කළ නිරීක්ෂණ හා අධ්‍යයනය අනුව බුල්ඩෝසරයේ කවුළු කිහිපයක් වූ බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව බුල්ඩෝසරයට මීටර 10ක් පමණ සමීපව සිටි කෝප්‍රල් ගාමිණී කුලරත්න සතුව බෝම්බ නොතිබූ හෙයින් සමීපයේ සිටි තවත් සෙබළුන් දෙදෙනෙකුගේ බෝම්බ දෙකක් දෑතට ගත් ඔහු බුල්ඩෝසරය පසුපසට දිවයන්ට වුණා. සෑම දෙසකින්ම බුල්ඩෝසරය දෙසට විවිධ වර්ගවල වෙඩි ප්‍රහාර එල්ල වුවත් එය නොතකූ කුලරත්න දිවයන අතරම බෝම්බ දෙකේ අගුළු මුදාහැරියා. පසුව බුල්ඩෝසරය පිටුපස ඉනිමගේ එල්ලුනු ගාමිණී ක්ෂණිකව එහි වූ කවුලුවෙන් බුල්ඩෝසරය තුළට අත්බෝම්බ 2 විසි කළේ එල්ලවිය හැකි වෙඩි ප්‍රහාර හා පිපිරීමෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා වේගයෙන් යළි දිව ඒමේ අරමුණින්. පිපිරීමත් සමඟ පාලනයෙන් ගිලිහුණු බුල්ඩෝසරයක් ගොඩනැගිල්ලක් කඩා වැදී නතර වුණාත් කෝප්‍රල් ගාමිණී කුලරත්නට පෙරලා සහෝදර සෙබලුන් සිටි ස්ථානයට ළඟාවූ ළඟාවීමට හැකි වූයේ නැහැ. ඒ ඒවනවිටත් ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ දැඩි ප්‍රහාර කොප්පර ගාමිණීගේ සිරුර විනිවිද ගොස් තිබූ නිසායි.

    කෝප්‍රල් ගාමිණී කුලරත්නගේ ක්ෂණික තීරණය හා ධෛර්යත්ත්වය හා වීර්යය නොවන්නට එදින අලිමංකඩ කඳවුරට දැවැන්ත විනාශයක් සිදු වීමට ඉඩ තිබුණා. බුල්ඩෝසරය විනාශ කර ටික වේලාවකින් පසු ත්‍රස්තවාදීන් ප්‍රහාර පාලනය කිරීමට යුද හමුදාව සමත් උනා. සහෝදර සොල්දාදුවන් ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා ස්වකැමැත්තෙන් බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් වී දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට සිය ජීවිතය පූජා කිරීම හේතුවෙන් කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබුවා. ඔහු මෙරට එම සම්මානයට හිමිකම් කී දෙවැන්නා ලෙස ඉතිහාස ගත වුනා. පරම වීර විභූෂණ යනු සෙබලකුගේ වීරත්වය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම පදක්කමයි.

    කෝප්‍රල් ගාමිණී කුලරත්න හෙවත් හසලක වීර ගාමිණී අනුස්මරණය කිරීමේ පුෂ්පෝපහාර වැඩසටහනක් හසලක නගරයේ ගාමිණී කුලරත්න ස්මාරකය අභියස දී අද උදේ පැවැත්වුණා. පවුලේ සාමාජික සාමාජිකයන් ඇතුළු සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් covid-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය පැවති බවයි අප වාර්තකරු සඳහන් කළේ. ගාමිණී රණවිරුවාගේ මව වයි. ජී. ජුලියට් මහත්මිය පිළිරුවට පුෂ්පෝපහාර පුද කළා. මේ වීර ගාමිණී කුළරත්න රණවිරුවා සිහි කිරීම උදෙසා පිළිරූ දෙදක් ඉදිකර ඇති අතර එනෙක් පිළිරුව පිහිටා ඇත්තේ අලිමංකඩ හමුදා කදවුර පිහිටි භූමියේ යි.

    Last modified on බදාදා, 14 ජූලි 2021 19:17

    Latest News