චිත්‍රපට සංස්ථාවට පොට පෑදුනාද ? පිටපොට ගියාද ?

ඔක් 17, 2018

    මෙතෙක් පෞද්ගලික අංශය යටතේ තිබූ, චිත්‍රපට බෙදාහැරීමේ බලතල නැවතත් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගන්නා බව එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා නිවේදනය කළේ මීට මාස කිහිපයකට ඉහතදීය.

    බෙදාහැරීමේ මණ්ඩල විසින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී ඇතැම් සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා සාධාරණයක් ඉටු නොවීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් විය.

    කෙසේ වෙතත් මෙම තීරණය කෙරෙහි බෙදාහැරීමේ මණ්ඩල සිය විරෝධතාව පළ කරමින් නීතිය හමුවට ගිය අතර එහි බලපෑම නිසාදෝ තවමත් චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීමේදී සිය බලතල නිසි පරිදි භාවිත කරන බවක් දක්නට නොලැබේ.

    මෙවැනි වාතාවරණයක් තුළ, දැනට පවතින චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය යටතේ ඇතැම් සිනමාකරුවන් වසර ගණනාවක් තම චිත්‍රපටය ‍පෝලිමේ තබා ගනිද්දී තවත් අය ඉතා කෙටි කාලයකදී සිය චිත්‍රපට සිනමාහල් වෙත රැගෙන එන බවට චෝදනාවක් මේ දිනවල කරළියට පැමිණ තිබේ.

    මේ දිනවල තිරගත වෙන නිදහසේ පියා - ඩී. එස්. චිත්‍රපටය සහ මෙම මස අගදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත 'උදුම්බරා' චිත්‍රපටය එලෙස චෝදනා නගන්නන්ගේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව තිබෙන චිත්‍රපට දෙකකි. මේ වනවිට චිත්‍රපට ‍පෝලිමේ වසර ගණනාවක් කල් මරමින් සිටින චිත්‍රපට කිහිපයක නිර්මාණකරුවන්ගේද අදහස් ඉදිරිපත් කෙරෙන මෙම ලිපියෙහි අරමුණ එම චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමය.

    අවුරුදු හතකට පස්සේ මට ලැබුණු අවස්ථාව නිදහසේ පියා උදුරා ගත්තා

    සරත් ධර්මසිරි - අධ්‍යක්ෂ

    සූවිසි විවරණ කියන මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය හදලා දැන් අවුරුදු හතක් වෙනවා. නමුත් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයට කිසිදු අවස්ථාවක් තවමත් ලබාදෙන්නේ නැහැ.

    මේ දිනවල තිරගත වෙන නිදහසේ පියා - ඩී. එස්. චිත්‍රපටය වෙනුවට මගේ සූවිසි විවරණ තමයි ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණේ. නමුත් මේ වතාවේ නිදහසේ පියා චිත්‍රපටිය ‍පෝලිම පැන්නා. මීට කලිනුත් හුඟක් චිත්‍රපට අධ්‍යක්ෂවරු මට අවස්ථාව නොදී ‍පෝලිම පැන්නා. බලතල තියෙන අය ‍පෝලිමෙන් පනිනවා. අගමැති කාර්යාලයෙන්, ඇමැතිවරුන්ගෙන් ලියුම් ගෙනල්ලා ඒ අයගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්නවා. මේ ගැන කතා කරන එකත් වෙලාව නාස්ති කිරීමක් විතරයි.

    නිදහසේ පියා ට එල්ල වෙන චෝදනා බොරු

    සුනෙත් මාලිංග ලොකුහේවා - අධ්‍යක්ෂ

    ඇත්තටම ලංකාවේ චිත්‍රපට ‍පෝලිමක් නැහැ. මම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෙක්. මුළු ලංකාවේම අධ්‍යක්ෂවරු විසි එක්දෙනෙක්ගෙන් අවුරුදු දෙකකට වරක් විධායක කමිටුවක් හදනවා. අපි දන්නේ නැතිව කොහොමද චිත්‍රපට ‍පෝලිමක් තියෙන්නේ. ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක චිත්‍රපට ‍පෝලිමක් නැහැ. නමුත් කවුරු හරි කියනවා නම් ‍පෝලිමක් තියෙනවා කියලා, ඒක වැරදි කතාවක්. ඔය චිත්‍රපට ‍පෝලිමක් තියෙනවා කියලා කතා කරන අධ්‍යක්ෂවරු අපේ රටේ සිනමාවට වැඩ කරන මිනිස්සු නමෛයි. ලංකාවේ ඉතා ජනප්‍රිය අධ්‍යක්ෂවරු ‍පෝලිමක් ගැන කවදාවත් කතා කරන්නේ නැහැ.

    මගේ නිදහසේ පියා - ඩී. එස්. චිත්‍රපටය ‍පෝලිම පැනලා ප්‍රදර්ශනයට අවස්ථාව ලබාගත්තා කියන කතාව මුළුමනින්ම අසත්‍යයක්. මොකද මමත් කාලයක් බලාගෙන ඉඳලා තමයි මේ අවස්ථාව ලබාගත්තේ. මට කලින් ප්‍රදර්ශන අවස්ථාව ලබාගත් චිත්‍රපට ඕනෑ තරම් තියෙනවා. ඔය මට චෝදනා නගන අය ඉන්දීය අධ්‍යක්ෂවරු විසින් හදලා කඩිමුඩියෙම ප්‍රදර්ශනයට අවස්ථාව ලබාගත් 'උදුම්බරා' වගේ චිත්‍රපට ගැන නිහඬයි.

    බලය පාවිච්චි කරන විදිහ ගැනවත් චිත්‍රපට සංස්ථාවට දැනුමක් නෑ

    ප්‍රසන්න ජයකොඩි - අධ්‍යක්ෂ

    මගේ 'සංසාරණ්‍යයේ දඩයක්කාරයා' චිත්‍රපටය අවුරුදු ගාණක් තිස්සේ ‍පෝලිමේ තියෙනවා. ඒත් ප්‍රදර්ශනයට අවස්ථාවක් නැහැ. මේ වෙනකොට කිසිදු පාලන ක්‍රමවේදයකින් තොරවයි අපේ රටේ චිත්‍රපටි ප්‍රදර්ශනය වෙන්නේ. චිත්‍රපටි සංස්ථාවත් මේ සඳහා කිසිදු බලයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ බලය පාවිච්චි කරන විදිහ පිළිබඳවත් චිත්‍රපට සංස්ථාව දැනුවත් නැහැ. මේ අනුව බලද්දී හෙළ සිනමාවේ තත්ත්වය හරිම ඛිෙදනීයයි. දේශපාලන බලය තියෙන පිරිස්වල චිත්‍රපට නම් ඉතා ඉක්මණින් ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම චිත්‍රපට ශාලා හිමියන් විසින් ලාභ ලබනවා යැයි අපේක්ෂා කරන චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. මේ විදිහට චිත්‍රපට දෙවර්ගයකට ප්‍රදර්ශන අවස්ථා හිමිවෙනවා. නමුත් හොඳ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශන අවස්ථා නොමැතිව අවුරුදු ගාණක් තිස්සේ ‍පෝලිමේ තිබෙනවා.

    ගුරු ගීතය අවුරුදු හතරක් ‍පෝලිමේ

    උපාලි ගම්ලත් - අධ්‍යක්ෂ

    මගේ ගුරුගීතය චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු 2014 වසර වෙනකොට අවසන් වුණා. මේ ගැන මම සංස්ථාවට වරින් වර දැනුම් දුන්නා. 2014 දී චිත්‍රපටය පිළිබඳව ලිඛිතවත් දැනුම් දුන්නා. ඒත් ගුරු ගීතය ‍පෝලිමට ඇතුළත් වුණේ නැහැ. පස්සේ 2015දී මම ආයෙමත් ලිඛිත දැනුම් දුන්නට පස්සේ තමයි චිත්‍රපටය ඇතුළත් කර ගත්තේ. හැබැයි ගුරුගීතය කවදා ප්‍රදර්ශනය කරන්න පුළුවන්වෙයිද කිලා තවමත් දන්නේ නැහැ.

    චිත්‍රපට සංස්ථාව නිදි

    හෙන්රි වර්ණකුලසූරිය (සිනමාවේ සහෘදයෝ සංවිධානය)

    අද වෙනකොට පෞද්ගලික අංශය පක්ෂග්‍රාහීව තමන්ට අවශ්‍ය චිත්‍රපට පමණක් ප්‍රර්ශනය කරනවා. චිත්‍රපට සංස්ථාව නිදාගෙන ඉන්නවා. අඩුම ගානේ චිත්‍රපට සංස්ථාවත් ගොඩ ගැහිලා තියෙන චිත්‍රපට ටික ප්‍රදර්ශනය කරන්න නිසි ක්‍රමවේදයක් හදන්නේ නැහැ. මෑතකදී රූගත කළ සමහර චිත්‍රපට ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය කරනවා. නමුත් බොහෝ කාලයකට පෙර වැඩ අවසන් කළ චිත්‍රපට තවමත් ‍පෝලිමේ තියෙනවා.

    චිත්‍රපට බෙදාහැරීම ගැන නඩුවක් තියෙනවා

    සිතේන්ද්‍ර සේනාරත්න - ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති

    ඉදිරි කාලයේදී ප්‍රදර්ශනය කිරීම සඳහා චිත්‍රපට අසූ ගාණක් ‍පොරොත්තු ‍ලේඛනයේ තිබෙනවා. 1999 නීලවීර වාර්තාව අනුව චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවැරීමෙන් පස්සේ මණ්ඩල පහක් ඇති කළා. මේ මණ්ඩල පහෙන් එකක් තමයි චිත්‍රපට සංස්ථාවට අයිති. ඉතුරු මණ්ඩල හතරම පෞද්ගලික අංශයේ පෞද්ගලික බෙදාහැරීම් ආයතන. මේ පෞද්ගලික බෙදාහැරීම් ආයතන කටයුතු කරන්නේ ඒ අයගේ අභිමතයටයි. මේ ‍පොරොත්තු ‍ලේඛනයේ තිබෙන චිත්‍රපට සම්බන්ධයෙන්, ජනාධිපතිතුමා පත්කරපු විධිමත් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු අවස්ථාවේදී තීරණයක් ගත්තා මේ චිත්‍රපට අසූ ගාණ ස්වාධීන විද්වත් මණ්ඩලයක් මගින් නරඹලා, ඒ චිත්‍රපට වර්ගීකරණය කරලා, ඒ අතරින් ප්‍රදර්ශනයට සුදුසු චිත්‍රපට මොනවාද, නුසුදුසු චිත්‍රපට මොනවාද කියලා තෝරාගෙන ඒ චිත්‍රපට සඳහා සාධාරණයක් ඉටු කරන්න. එවැනි සාධාරණත්වයක් ඉටු කරන්න නම් පෞද්ගලික මණ්ඩල සියල්ලම චිත්‍රපට සංස්ථාවත් එක්ක ‍පොදු තීරණයකට එන්න ඕනේ. නැත්නම් මේ බෙදාහැරීම චිත්‍රපට සංස්ථාව භාරගන්න ඕනේ. මේ බෙදාහැරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් උසාවියේ නඩුවක් තියෙනවා. අපි බලා‍පොරොත්තු වෙනවා ගරු අධිකරණය එහිදී සාධාරණ තීන්දුවක් දෙයි කියලා. ඒ තීරණය ලැබෙනකම් සංස්ථාව චිත්‍රපට අසූ ගාණ වර්ගීකරණය කිරීම සඳහා මූලික කටයුතු කරගෙන යනවා.

    සමන්මලී නැලිගම

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:23

    Latest News