මාස 11ක් තුල අපනයන ක්ෂේත්‍ර‍යෙන් ඉහළ ආදායමක්

දෙසැ 01, 2021

    ඉකුත් මාස 11ක කාලය තුළ ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි දෙලක්ෂ 25,700ක් උපයා ඇති බව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

    පසුගිය මාසය තුළ පමණක් අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 24,640ක්.

    පසුගිය වසරේ දී ඇඟළුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 10,077ක ආදායමක් උපයා තිබේ. එම වර්ෂයට සාපේක්ෂව මේ වසරේ දී අපනයන ආදායම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි. 

    පවතින වසංගත තත්වය හමුවේ මේ වසරේ ඇතැම් මාසවල රට වසා දමා තිබුණද, අඛණ්ඩව අපනයන ක්‍රියාවලිය සිදුව තිබේ. මේ වසරේ ගතවූ සෑම මසකම අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 800 ඉක්මවා යාම විශේෂත්වයක්.

    පසුගිය මාසයේ දී මේ වසරේ වැඩිම අපනයන ආදායම වාර්තා විය. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 1,232ක්. මේ වසරේ අඩුම අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබෙන අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 818ක්.

    මේ වස‍ර අවසන් වන විට තවදුරටත් මෙරට අපනයන ආදායම ඉහළ යනු ඇති අතර එය මෑත කාලයේ වැඩිම අපනයන ආදායම වනු ඇතැයි,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාස කරයි. කෙසේ වුවද, මේ වසරේ ගත වූ මාස 11ක කාලයේ දී මෙරට ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 18,262ක්.

    ඒ අනූව, වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 6,977ක් වී තිබේ, එහෙත්, පවතින වසංගත තත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති මෙරට ආර්ථිකයට මෙම අපනයන ආදායම ශක්තියක් බවයි,ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    Latest News