කන්සවේටිව් පක්‍ෂයට ඓතිහාසික මැතිවරණ ජයක්

දෙසැ 13, 2019

    බ්‍රිතාන්‍ය ඡන්දදායකයන් තැබූ විශ්වාසයට සාධනීය ප්‍රතිචාරයක් දක්වන බවට, අගමැති බොරිස් ජොන්සන් ප්‍රතිඥා දෙයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාලක කන්සවේටිව් පක්‍ෂය ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමත් සමඟයි. අගමැති බොරිස් ජොන්සන් විසින් හදිසියේ කැඳවනු ලැබූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ඊයේ පැවැත්විණ. එය දශකයක් තුළ පැවති සිව් වැනි මහ මැතිවරණයයි. පාර්ලිමේන්තු ආසන 650න් 649 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අතරින් බොරිස් ජොන්සන් අගමැතිවරයාගේ කන්සර්වේටිව් පක්‍ෂය ලැබූ ආසන සංඛ්‍යාව 364ක්. පසුගිය මැතිවරණයට වඩා ආසන 64ක් ජයග්‍රහණය කිරීමට එම පක්‍ෂය සමත්විය. 1987 මාග්‍රට් තැචර් යුගයෙන් පසු කන්සර්වේටිව් පක්‍ෂය ලැබූ විශාලතම මැතිවරණ ජයග්‍රහණය මෙයයි.

    බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරීම සඳහා අගමැති ජොන්සන්ට ලැබුණු ජන වරමක් ලෙසයි, මෙය සැලකෙන්නේ. කම්කරු පක්‍ෂය ලැබූ ආසන සංඛ්‍යාව 203ක්. එය පසුගිය මැතිවරණයට වඩා ආසන 59ක අඩුවක් පෙන්නුම් කරයි. 1935න් පසු කම්කරු පක්‍ෂය ලැබූ බරපතලම මැතිවරණ පරාජය ලෙසයි, මෙය ඉතිහාසයට එක්වෙන්නේ. මේ සමඟම ජෙරමි කෝබින්ගේ කම්කරු පක්‍ෂ නායකත්වය තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ අර්බුදයක් මතුවී තිබේ. මැතිවරණයෙන් පසු මාස කිහිපයක් නායකත්වයේ රැඳී සිටීමට කෝබින් අදහස් කළත්, වහා ඉල්ලා අස්වන ලෙසට දැනටමත් ඔහුට බලපෑම් එල්ලවේ.

    Latest News