“කැපිටල් වන්“ ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්ත හැකර් ප්‍රහාරයකට

ජූලි 30, 2019

    අමෙරිකාවේ “කැපිටල් වන්“ මූල්‍ය සේවා සමාගමේ ගණුදෙනුකරුවන් මිලියන 106කගේ පෞද්ගලික දත්ත හැකර් ප්‍රහාරයක් මගින් සොරා ගෙන තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ආශ්‍රිත ගණුදෙනුකරුවන්ගේ දත්ත එලෙස සොරාගෙන ඇති බව වාර්තාවේ. කැපිටල් වන් සමාගම මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මීට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟයි. අමෙරිකානු තාක්‍ෂණික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කළ 33 හැවිරිදි කාන්තාවක මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 100ක් හා කැනඩාවේ මිලියන 6ක් හැකර් ප්‍රහාරයට ලක්වූ පිරිසට ඇතුළත්.

    කැපිටල් වන් සමාගම අමෙරිකාවේ ප්‍රධාන ණය පත් නිකුත් කරන සමාගම් අතරින් එකක්. ක්‍රෙඩිට් කාඩ් පහසුකම් සඳහා ලියාපදිංචිව සිටි ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්තවලට අදාළ ඔවුන්ගේ නම්, ලිපිනයන්, දුරකථන අංක ආදී තොරතුරු සොරාගෙන ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වුවද ඔවුන්ට සිය ගණුදෙනුකරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංක වෙත පිවිසීමට නොහැකි වී ඇති බව කැපිටල් වන් සමාගම තහවුරු කරගෙන තිබේ.

    ඇති වූ අනපේක්‍ෂිත තත්වයත් සමඟ අපහසුතාවන්ට මුහුණ දුන් ගණුදෙනුකරුවන්ගෙන් සමාගමේ සභාපති රිචඩ් ෆෙයාර්බෑන්ක් සමාව ඉල්ලා ඇති අතර, ඉදිරියේ දී ඔවුන්ට නොමිලේ ණය අධීක්‍ෂණය හා අනන්‍යතා ආරක්‍ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව ද වාර්තාවේ.

    Latest News