ඉන්දීය පාර්ලිමේන්තුව නොසන්සුන් කළ සැකකරුවන් අල්ලයි

දෙසැ 14, 2023

    බාහිරින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ඉන්දියානු පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බාහිර පුද්ගලයන් දෙදෙනා, නවදිල්ලියේ ලෝක් සභා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන ගැලරියේ සිට එකවරම සභා ගර්භය මැදට කඩාපැන වර්ණ ගැන්වූ දුම් විදිනයන් අතැතිව මන්ත්‍රිවරුන්ගේ මේස මත ඒ මේ අත දිවගියා. එම කලබලකාරී අවස්ථාව ආරක්‍ෂිත කැමරාවල මෙන්ම මන්ත්‍රිවරුන්ගේ ජංගම දුරකථන කැමරාවලින්ද පටිගත කර තිබුණා.

    සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ට සහය දක්වමින්, පාර්ලිමේන්තු ‍ගොඩනැගිල්ලේ පිවිසුම ආසන්නයේ සිට වර්ණ ගැන්වූ දුම් විදීමේ යෙදී සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් අයෙකු පලා ගොස් ඇති තර ඉන්දීය ආරක්ෂක අංශ පවසනේ, පලා ගිය තැනැත්තා අත්අඩංගුවට පත් සිව් දෙනාට නවාතැන් සපයා ඇති බවයි. අත්අඩංගුවට පත් ප්‍රධාන සක්කකරුවන් සිව් දෙනා එක් සැලැස්මකට අනුව ක්‍රියා කර ඇති බව, ඉන්දීය බලධාරින් පවසනවා.

    පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත්තේ, සාගර් ෂර්මා සහ මනෝරංජන් යන දෙදෙනෙකු බවටයි, හඳුනාගෙන ඇත්තේ. ඉන්දීය පොලිසිය පවසන්නේ, ඔවුන් තම සපත්තු තුළ වර්ණ ගැන්වූ දුම් විදිනයන් සඟවා ගෙන කඩාවැදී ඇති බවයි. අත්අඩංගුවට පත් මනෝරංජන් යන අය ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර ඔහු බැංගලෝර් හි විවේකානන්ද විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරා තිබෙනවා.

    මනෝරංජන් සහ සාගර් ෂර්මාට ඉන්දීය පාර්ලිමේන්තුවේ ආගන්තුක අවසර පත්‍රය හිමිව ඇති බවයි, වාර්තා වන්නේ. ඔවුන්ගේ පාර්ලිමේන්තු අවසර පත්‍ර දකුණු ඉන්දියාවේ මයිසුරු ආසනයේ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතාප් සිම්හාගේ නමින් නිකුත් කර ඇති බවට, ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. සැකකරුවන්ගේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    Latest News