මිහිමත දරුවන්ගේ සුසාන භූමිය ගාසා

නොවැ 07, 2023
    ඊශ්‍රායල - ගාසා යුද ගැටුම් ආරම්භ වී මසක කාලයක් තුළ ගාසා තීරය මේ වන විට දරුවන්ගේ සුසාන භූමියක් බවට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් කියා සිටිනවා.

    යුද්ධයේ වැඩි බලපෑමට ලක්ව ඇත්තේ ළමයින් වන බැවින්, වහාම සටන් විරාමයකට එළඹිය යුතු බව, යළි යළිත් ඔහු අවධාරණය කරනවා.

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමග ගාසා තීරයේ වත්මන් තත්වය මෙය මානුෂීය අර්බුදයකට වඩා එය මනුෂ්‍යත්වයේ අර්බුදයක් බවයි, මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
    ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායල ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වූයේ හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් ඉලක්ක කොට ගනිමින් සිදු කළ මිලෙච්ඡ ප්‍රහාරයත් සමගයි. එම ප්‍රහාරයේ දී ඊශ්‍රායල සිවිල් වැසියන් 1,400 කට අධික පිරිසක් ඝාතනය වූ අතර, තවත් 200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යනු ලැබුවා.
    ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා මිය ගිය පුද්ගලයින් ගණන 10,022 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් 4,104 ක් දරුවන් බවයි, හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
    ඊශ්‍රායල ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමග, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම, බිහිසුනු ක්‍රියාවක් ලෙස පෙන්වා දෙනවා.
    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු "ABC පුවත් සේවය" ට ප්‍රකාශ කොට ඇත්තේ, යුද්ධය අවසන් වූ පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ සමස්ත ආරක්‍ෂාවට වගකීම දරන බවයි.

    Latest News