භාරත මාතාව 77 වන නිදහස සමරයි

අගෝ 15, 2023

    ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදට යෙදී තිබේ.සෑම වසරකම අගෝස්තු මස 15 වන දා ජාතික ධජය එසවීමෙන් සහ ජාතික ගීය ගායනා කිරීමෙන් මෙම දිනය සනිටුහන් කරනු ඇත.

    ලොව පුරා සිටින ඉන්දියානුවන් විසින් ද සමරනු ලබන 77 වන ඉන්දීය නිදහස් දින සැමරුම එරට නව දිල්ලි නුවර රතු බලකොටුවේදී පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී අගමැතිවරයා ඉන්දියාවේ නිදහස් අරගලයට දායක වූ සියලු ම පිරිස් වෙනුවෙන් සිය ප්‍රණාමය පුද කර තිබේ. මනිපූර්හි සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද එහිදී අගමැතිවරයා අදහස් පළ කර ඇත.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ප්‍රාන්තයේ සාමය යළි ස්ථාපනය කිරීමට තම රජය සෑම උත්සහයක් ම ගන්නා බව ඔහු එහිදී අවධාරණය කළ බව ය. සිය නිදහස් දින කතාවේදී ඔහු ස්වභාවික විපත්, ආර්ථිකය සහ එරට ඉහළ යමින් පවතින ජනගහනය ගැන ද සඳහන් කර ඇත.

    1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේ ය.

    නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

    මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළහ.

    1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියේ ය.

    අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනි දා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවිය. එතැන් පටන් සෑම වසරකම රතු කොටුවේ සිට ජාතික කොඩිය ඔසවන අතර ඉන් අනතුරුව ජාතිය ඇමතීම සිදු කරයි.

    මේ අතර, කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ද 77 වන නිදහස් දිනයට සමගාමීව අද (අගෝ. 15) උත්සවයක් සංවිධානය කරනු ලැබ තිබිණි.

     

    Latest News