ජපානයෙන් උතුරු කො‍රියාවට අනතුරු ඇඟවීමක්

නොවැ 19, 2022

    ජපානය, උතුරු කො‍රියාව ඊයේ අත්හදාබැලු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

    ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම මිසයිල මගින් අමෙරිකා එක්සත් ජනපදයට අයත් භුමිප්‍රදේශය දක්වා ප්‍රහාර එල්ල කිරී‍මේ හැකියාව පවතින බවයි.  උතුරු කොරියාව අත්හදා බැලු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සිය හොකයිඩො නගරයට බටහිර දෙසින් කිලෝමීටර 210 ක් ඔබ්බෙන් වූ මුහුදට පතින වූ බව, ජපාන බලධාරින් සඳහන් කළා.

    අමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව‍ මෙම අත්හදාබැලීම හෙළා දැක තිබෙනවා. බැලැස්ටික් මිසයිලය උතුරු කොරියානු අගනුවර සිට එල්ල කර ඇති බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇති බවයි දකුණු කොරියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ. මෙම බැලැස්ටික් මිසයිලය කිලෝමීටර් 6,000ක් තරම් ඉහළ ගුවනට ගොස් අනතුරුව කිලෝමීටර 1,000 ක පමණ දුර ඉලක්කයක් වෙත පතිත වී තිබෙනවා.

    මිසයිලයේ වේගය වාර්තා වන්නේ, ශබ්දයේ වේගය මෙන් විසිදෙගුණයක් ලෙසයි. මෙහි සමස්ත ගමනාන්තය නිරීක්ෂණ කරන විට කිලෝමීටර් 15,000ක දුර ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි බවයි, ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව එක්සත් ජනපදයට පවා මෙම මිසයිල මගින් ප්‍රහාර එල්ල කළ හැකි බවට, ඔහු අනතුරු අඟවනවා.

    Latest News