ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන මිෂෙල් බැෂෙලේගෙන් නිවේදනයක්

මැයි 11, 2022

    ශ්‍රී ලංකාවේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වළක්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

    සාමකාමී අරගලයක නිරත වෙමින් සිටි විරෝධතාකරුවන්ට පසුගියදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කණගාටුවට පත් වන බව ඇය සදහන් කර සිටියි. එසේම ඊට සම්බන්ධ ඊට අනුබලදුන් සහ එය සංවිධාන කළ සියලුදෙනා හට නිසි දඩුවම් ලබාදිය යුතු බවයි ඇය සදහන් කරන්නේ.

    එසේම සාමකාමී උද්ඝෝෂණවල නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇති බවත් ඇය සදහන් කර සිටියි. හදිසි නීතිය පවතින අවස්ථාවේ එය ආරක්ෂා කිරීමට යොදවා සිටින බලධාරීන් සහ ඔවුන්ගේ සහයට යොදවා ඇති ආරක්ෂක අංශ සෑම විටම අන්තර් ජාතික මානව හිමිකම් ආචාර ධර්මවලට යටත්ව කටයුතු කළ යුතු බවත් එම පිරිස් කිසිඳු අවස්ථාවක සාමකාමී උද්ඝෝෂණ යටපත් කිරීමට හෝ ඊට බලපෑම් කිරීමට එම බලය භාවිත නොකළ යුතු බව ඇය අවධාරණය කර සිටියි.

    ඇය  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනතාව මේ වන විට මුහුණ දී සිටින සමාජ, ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා සියලු සමාජ තලයන් සමග අර්ථාන්විත සාකච්ජාවකට එක්වන ලෙසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බව සහ ඒ පිළිබඳ තමා වෙත වාර්තාකරමින් සිටින බව ඇය සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාව මෙම අර්බුදය පාලනය කිරීම සඳහා සාමකාමී විසඳුමක් සොයා ගනු ඇති බවට සහ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගනු ඇති බවටත්, ඇය විශ්වාසය පළ කරයි.
    එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාද සහ මානව හිමිකම් ශක්තිමත් කරමින් තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඇතිවීම පාලනය කරනු ඇති බවට තමා විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සදහන්.

    Last modified on බදාදා, 11 මැයි 2022 12:06

    Latest News