ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය ප්‍රතික්‍ෂේප වෙයි....

අප්‍රේ 03, 2022

    පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට විරුද්ධව ඉදිරිපත් වී තිබූ විශ්වාස භංග යෝජනාවෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

    ඒ, එරට පාර්ලිමේන්තුව එම යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟයි. ඒ සමඟ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමෙන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි නියෝග කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එල්ල වී තිබූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයවීමේ අවධානමක් මතුව තිබුණා. ආසන 342කින් සමන්විත පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබාගැනීමට අවශ්‍ය ආසන 172ක සහය ඔහුට නොලැබී තිබීම ඊට හේතුවයි.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඔහුට පාර්ලිමේන්තුව තුළ තිබුණේ ආසන 150ක පමණ සහයෝගයක් පමණක් බවයි. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව භාරගැනීම ප්‍රතික්‍ෂේප කරන බව එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කාසිම් සූරි ප්‍රකාශ කළා. එහිදී, පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇති වූ අතර නියෝජ්‍ය කතානායකවරයා තීරණයට විපක්‍ෂය දැඩි විරෝධයක් එල්ල කළා. ජාතිය අමතමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව විසින් පකිස්තානයේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු කිරීමට විදෙස් බලවේගයන්ගේ මූලිකත්වයෙන් සිදු කළ උත්සාහයන් පරාජයට පත් කළ බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා ඇතැම් පාර්ශව විසින් බිලියන ගණන් මුදල් වියදම් කළ බවයි. එසේ ලබාගත් මුදල් දිළින්දන් වෙනුවෙන් සහ අනාථ නිවාසවලට ලබාදෙන ලෙසයි, එම මන්ත්‍රීවරුන්ගෙන් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

    මේ අනුව, ඉදිරි මාස තුන ඇතුලත පකිස්තානයේ මහ මැතිවරණයක් පැවැත්වෙනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ කිසිදු දූෂිත පාර්ශවයකට රටේ අනාගතය තිරණය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

    Latest News