ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් පුද්ගලයෙකුට බද්ධ කෙරේ

ජන 11, 2022

    ජානමය ලෙස වෙනස් කෙරුණු සූකරයෙකුගේ හදවතක් ප්‍රථම වරට මනුෂ්‍යයෙකුට බද්ධ කිරීමට අමෙරිකානු වෛද්‍යවරු පිරිසක් සමත්ව තිබේ.

    මේ වන විට සැත්කම සිදුකොට දින තුනක් ගතවී ඇති අතර රෝගියා යහපත් සුවයෙන් පසුවන බවයි, වෛද්‍යවරුන් පවසන්නේ.

    ඖෂධ හෝ සැත්කම්වලින් හදවත් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිවන අවස්ථාවල දී බොහෝ විට එම රෝගීන් මිය යන බවයි අමෙරිකානු වෛද්‍යවරුන් පවසන්නේ. දිනකට එවැනි රෝගීන් 22 දෙනෙකු පමණ මිය යන බවයි, සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ. ඊට විකල්පයක් ලෙසයි මෙම සැත්කම සිදුකර ඇත්තේ. පර්යේෂණාත්මක සැත්කමක් ලෙස සිදු කෙරුණු මෙය ලොව පළමු සූකර හදවත් බද්ධ ශල්‍යකර්මයයි.

    57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි, ශල්‍යකර්මයට භාජනය කෙරුණේ ඔහුගේ හදවතේ හට ගත් වේදනාවක් හේතුවෙන් රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍යවරුන් තීරණය කළේ ඊට හොඳම විසඳුම ශල්‍යකර්මයක් බවයි. එහෙත් කඩිනමින් හදවතක් සොයා ගැනීමට නොහැකි වීමේ ගැටලුවට වෛද්‍යවරුන් මුහුණ දුනි.

    අවසානයේ දී පවුලේ සාමාජිකයන්ගේ එකඟතාව මත සූකරයෙකුගේ හදවතක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් තීරණය කළේය. ශල්‍යකර්මයට එකඟ වීම හේතුවෙන් ඔහුට විශේෂ දීමනාවක් ද ලබාදීමට රෝහල් බලධාරීන් තීරණය කළේය.

    බෙනට් නමැති එම රෝගියා ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි, පවුලේ සාමාජිකයින් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 11 ජනවාරි 2022 11:19

    Latest News