තවත් භයානක කොවිඩ් විකෘති ප්‍රභේදයක් ප්‍රංශයෙන්

ජන 05, 2022

    ප්‍රංශයෙන් කොරෝනා වෛරසයේ තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ. B.1.640.2 නොහොත් IHU නමැති මෙම ප්‍රභේදය එරට දකුණු දිග ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මේ අතර චීනයේ යූෂෝ නගරය මුළුමනින්ම වසා දමා තිබේ.

    ඒ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමගයි. ප්‍රංශය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ද බලපෑමට ලක්ව ඇති පසුබිමකයි, නව වෛරස ප්‍රභේදය හඳුනා ගෙන ඇත්තේ. මේ වන විට IHU ප්‍රභේදය ආසාදිතයන් 12 දෙනෙකු පමණ හඳුනා ගෙන තිබේ.

    ඉන් බොහෝ පිරිසක් අප්‍රිකානු රටක් වන කැමරූන්හි සංචාරය කර තිබීම නිසා නව ප්‍රභේදය සහ එම රට අතර සබඳතාවක් පවතීද යන්න පිළිබඳ සැක සහිත බවයි,පර්යේෂකයන් පවසන්නේ.

    කෙසේ වුවද, ප්‍රභේදයේ මූලාරම්භය එහි ව්‍යාප්තිය සහ පවතින එන්නත් මීට ඔරොත්තු දෙන්නේද යන්න නිගමනයට තවමත් කල් වැඩි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
    මෙම විකෘති ප්‍රභේදයේ සැකැස්මේ පවතින සංකීර්ණතා නිසා මෙය ඇතැම් විට දැනට පවතින ප්‍රභේදයන්ට වඩා අතිශය භයානක විය හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    මේ අතර ප්‍රංශයෙන් ඊයේ දෙලක්ෂ 71,000කට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනා ගෙන තිබේ.

    ඒ හේතුවෙන් එරට රජය තීරණය කර ඇත්තේ, එන්නත්කරණයට ලක් නොවූවන්ට එරෙහිව තවදුරටත් දැඩි පියවර ගැනීමටයි.

    Latest News