විදෙස් හමුදාවන්ට තලෙයිබාන් සංවිධානය අනතුරු අගවයි

අගෝ 24, 2021

    ලබන 31 වැනිදා වන විට ඇෆ්ගනිස්ථානයෙන් අනිවාර්යෙන්ම ඉවත්ව යා යුතු බවට තලෙයිබාන් සංවිධානය අමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන්ට අනතුරු අගවයි.

    රූපවාහිනී සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ,නියමිත දිනට ඔවුන් ඉවත්ව නොගියහොත්,බරපතල තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

    එළඹ ඇති ගිවිසුම්වලට අනූව අමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා මේ මස 31 වැනිදා වන විට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යා යුතු වෙයි. අමෙරිකාව, තම රටවැසියන් සහ තම හමුදාවන්ට සහය දුන් ඇෆ්ගනිස්ථාන පුරවැසියන් එරටින් ඉවත් කර ගැනීම මේ වන විට සිදු කරමින් පවතියි.

    නියමිත දිනට ඔවුන්ට ඉවත් වීම අපහසු වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිසි සැලැස්මකින් තොරව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට පියවර ගැනීම පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයාට දැඩි චෝදනා ද එල්ල වී තිබේ.

    මේ වන විට අමෙරිකාව 37,000කට අධික පිරිසක් ඇෆ්ගනිස්ථානයෙන් රැගෙන යාමට සමත්ව ඇති අතර තවත් විශාල පිරිසක් එරටින් බැහැර වීමට අපේක්ෂාවෙන් සිටින බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 12:02

    Latest News