ඉන්දියාවේ දරුවන් ගැටලු රැසක

මැයි 27, 2021

    ඉන්දියාවේ කොරෝනා මරණ ලක්‍ෂ 16ක් සිදුවී ඇතැයි, අමෙරිකාවේ පළවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

    එරට කොරෝනා මරණ සහ ආසාදිතයන්ගේ සංඛ්‍යාව නිසි පරිදි ගණනය නොකරන බව, එම පුවත්පතේ සඳහන් වේ. එහෙත් ඉන්දියාවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 15,000ක්.

    මෙම ආන්දෝලනාත්මක වාර්තාව පළ කළ නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කළේ, ආසාදිත ගණනය කිරීම් හා වාර්තා කිරීම්වල ක්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 540ක් පමණ විය හැකි බව එම පුවත්පත වාර්තා කරයි.

    එහෙත් එරට නිල සංඛ්‍යා ලේඛන අනුව ආසාදිත සංඛ්‍යාව මිලියන 27කට ආසන්නයි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණනය කිරීම පිළිබඳ ගැටලුකාරී බවක් දක්නට ලැබෙන බව ද දේශීය මාධ්‍ය වාර්තාවල සඳහන්. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව පදනමකින් තොර බව ඉන්දීය රජය පවසයි.

    මේ අතර, බටහිර බෙංගාල ප්‍රදේශය අගුලු දැමීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරිණ. ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන්. කොවිඩ්-19 වසංගතය හමුවේ එරට ළමා පරපුර බරපතල අර්බුදයකට මුහුණ පා ඇතැයි, අන්තර් ජාතික සංවිධාන පෙන්වා දෙයි. ඔවුන්ට වසරකට අධික කාලයක් පාසල් අහිමිවී තිබේ.

    Latest News