පියාගේ අත්වැළෙන් 2020 ඔලිම්පික් සිහිනය දකින සාග් රන් ශුර මැතිව්

දෙසැ 13, 2019

    2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම තම මීළඟ අරමුණ බව, පිහිනුම් ශුර මැතිව් අබේසිංහ පවසයි.

    මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු රන් පදක්කම් 7ක් හිමිකර ගැනීමට සමත්විය. මීටර 50 නිදහස් ආර, මීටර 200 නිදහස් ආර, මීටර 50 සමනළ ආර සහ මීටර 200 මිශ්‍ර ආර යන කේවල ඉසව්වලින් මැතිව් අබේසිංහ රන් පදක්කම් දිනා ගැනිමට සමත්විය. මීට අමතරව, ඔහු රන් පදක්කම් හිමිකර ගත්තේ මීටර 100 x 4 නිදහස් ආර, මීටර 200 x 4 නිදහස් ආර සහ මීටර 100 x 4 මිශ්‍ර ආර සහය පිහිනුම් ඉසව්වලින් 2016 දී මැතිව් අබේසිංහ රන් පදක්කම් 7ක් දිනා ගනිමින්, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ක්‍රීඩකයෙකු හිමි කරගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතුකර ගත්තා. ඔහු අඛණ්ඩව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී මෙම දක්‍ෂතාව දැක්වීම ද විශේෂත්වයක්.

    එහිදී අදහස් දැක්වූ මැතිව් අබේසිංහ....

    “ගොඩක් අය මට මේ ජයග්‍රහණයට උදව් කළා. මගේ දෙමව්පියෝ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මගේ තාත්තා තමයි මගේ පුහුණුකරු.. අනෙක් සියලුම පිහිනුම් ක්‍රීඩකයින්ටත් මම ස්තුතිවන්ත වනවා. ඒ වගේම, අමෙරිකාවේ මගේ විශ්වවිද්‍යාලයේ පුහුණුකරුවන්ටත් ක්‍රීඩකයින්ටත් ස්තූතියි. ඒ අය නොසිටින්නට මට මේ ජයග්‍රහණය ලබන්නට බැහැ. ලංකාවේ පිහිනුම් ඉතිහාසයේ පළමුවරට තමයි අපි කණ්ඩායමක් විදිහට පුහුණුවීම් සිදුකළේ. ඒ නිසා අපට ජයග්‍රහණය කරන්න පහසුවුණා. මගේ අනාගත බලාපොරොත්තුව 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම“ යැයි මැතිව් අබේසිංහ පැවසීය. මැතිව් අබේසිංහගේ පුහුණුකරු වන ඔහුගේ පියා ද මෙම සුවිශේෂි ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කළේය.

    Latest News