ඔස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

ජූනි 13, 2019

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පැවති ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 41ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

    කාසියේ වාසිය දිනූ පාකිස්ථානය මුලින් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. එහිදී ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 111කට ලකුණු 107ක් රැස් කළ අතර නායක ඇරොන් ෆින්ච් ලකුණු 82ක් ලබා ගැනීමට සමත් විය. ශක්තිමත් ආරම්භයක් ලබා ගත්ත ද මැද පෙළ ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියානුවන් අපොහොසත් විය. මැද පෙළ කිසිවෙකු ලකුණු 25 සීමාව පසු නොකළත් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 307ක් ලබා ගැනීමට සමත් විය. පකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අමීර් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර 10ට නිලකුණු ඕවර 2ක් සමගින් ලකුණු 30කට කඩුලු 5ක් ලබා ගත්තේය. ෂහීන් ෂාහ් ලකුණු 70ට කඩුලු 2යි.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානයේ ආරම්භක පිතිකරු ෆකර් සමාන් ලකුණු නොලබා ආපසු හරවා යැවීමට කමින්ස් සමත් විය. ඉමාම් උල් හක් ලකුණු 53යි. පාකිස්ථානය ලකුණු ලබා ගැනීමේ වේගය අවශ්‍ය ප්‍රමාණයට රඳවා ගැනීමට සමත් වුවද දීර්ඝ සබඳතාවක් පවත්වා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව පකිස්ථානයට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 266යි. වහබ් රියාස් සහ හසන් අලි යම් ශක්තිමත් සබඳතාවක් ලබා ගැනීමට සමත් වුවත් ඔවුන්ට තරගය ජයග්‍රහණය කරා යාමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කමින්ස් ලකුණු 33කට කඩුලු 3යි. මිචෙල් ස්ටාර්ක් ලකුණු 43කට කඩුලු 2යි. තරගයේ අවසන් කඩුල්ල ලෙස නායක සර්ෆරාස් අහ්මඩ්ගේ කඩුල්ල දුවද්දී දවා ගැනීමට මැක්වෙල් සමත් විය.

    තරගයේ වීරයා ලකුණු 107ක් ලබා ගත් ඩේවිඩ් වෝනර්.

    Latest News