සිම්බාබ්වේ එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

ජන 03, 2024

    සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

    ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී. නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස්. චරිත් අසලංකට උපනායකත්වය හිමියි. පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය සහ වනිඳු හසරංග නම් කළ සංචිතයට ඇතුළත්.

    වනිඳු ශාරීරික යෝග්‍යතාවයට සැලකිල්ලට ගෙන ‍තරග සඳහා නම් කරන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති උපුල් තරංග ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද මාධ්‍ය හමුව පැවැත්වුණා. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

    එක්දින කණ්ඩායමේ නායකත්වය ක්‍රෙග් අර්වින්ට හිමිව තිබෙන අතර, 20-20 නායකයා සිකන්දර් රාසා. දෙරට අතර තරගාවලියට එක්දින තරග 3 ක් සහ  20-20 තරග තුනක් ඇතුළත්. ලබන 6, 8 සහ 11 යන දිනවලදී එක්දින තරග පැවැත්වෙනවා. 20-20 තරග, ලබන 14, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

    Latest News