දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සැප් 05, 2021

    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (04) සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. වැසිබර කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා වුණා.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 47දී කඩුලු 6ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 283ක්. සිය තෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළ ජෙනමන් මලාන් ලකුණු 121 ලබා ගත්තා. රීසා හැන්ඩ්රික්ස් ලකුණු 51යි.

    පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 52කට කඩුලු දෙකක් සහ චාමික කරුණාරත්න ලකුණු 24ට කඩුලු 2ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිවුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට පන්දුවාර 41කදී ලකුණු 265ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 8කට දැවී ගිය අතර මිනෝද් භානුක රැස් කළේ ලකුණු 7ක් පමණයි. භානුක රාජපක්‍ෂ පන්දු තුනකට පමණක් මුහුණ දී ලකුණු නොලබාම දැවී ගියා.

    සටන්කාමී ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 69කදී ලකුණු 77ක් රැස් කිරීමට සමත්වුණා. ඒ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. නායක දසුන් ශානක ලකුණු 30 යි. චාමික කරුණාරත්න පන්දු 23කදී ලකුණු 36ක් ලබා ගත්තා.

    සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කළ ටැබ්රයිස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්. දෙරට අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින තරගය ලබන 7 වනදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්වයේ පසුවනවා. ලබන 7 වැනිදා තරගය දෙපිලටම විවෘතයි.

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 11:33

    Latest News