ශ්‍රී ලංකා ලෙජන්ඩිස් ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට

මාර් 20, 2021

    “රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස් 20-20“ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම සමත්විය.

    ඒ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුන්නේය.

    ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 125ක් පමණි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා වූයේ මෝනි වැන්ග් වික්. ඔහු ලකුණු 53ක් ලබා ගැනීමට සමත්විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩක නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 05ක් බිඳ හෙළීමට සමත්විය. එය මෙම තරගාවලියේ හොඳම පන්දු යැවීම ද වේ. සනත් ජයසූරිය, ෆර්වේස් මහරූෆ් සහ කෞෂල්‍ය වීරරත්න කඩුල්ල බැගින් දවා ගැනිමට සමත්වූහ.

    ලකුණු 126ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 8ක් ඇතැතිව ජයග්‍රහණය ලබා ගත්තේය. ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වූ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47යි. ඊට 4 පහර 08ක් සහ හයේ පහරක් ඇතුළත්. උපුල් තරංග නොදැවී ලකුණු 39යි. පන්දු යැවීමේදී මකායා එන්ටිනි සහ ඇල්විරෝ පීටර්සන් කඩුල්ල බැගින් දවාගත්තේය. තරගයේ වීරයා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩක නුවන් කුලසේකර.

    ඒ අනුව, රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සුදුසුකම් ලැබීය. තරගයේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතුට සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කර තිබිණ.

    Latest News