ශ්‍රී ලංකා-ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

මාර් 21, 2021

    දීර්ඝ කාලයකට පසු ශ්‍රී ලංකාව අවසන් වටයට තේරුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් ශ්‍රී ලංකික ප්‍රේක්‍ෂකයින්ට නැරඹීමේ අවස්ථාව අද හිමිවේ.

    ඒ අද ඉන්දියාවේ දී පැවැත්වෙන "රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස් 20-20 ක්‍රිකට් තරගාවලියේදී. අවසන් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි.

    තම රට නියෝජනය කරමින් වසර ගණනාවක් ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමෙන් පසුව මෙවැනි ලෝක ශුරතා තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

    තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක් ක්‍රීඩා කොට ඉන් තරග 05ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් හිමිකර ගත්තේය. ඉන්දීය කණ්ඩායම ද තරග 06ක් ක්‍රීඩා කර ඉන් තරග 05ක් ජය ගනිමින් හිමිකර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක්.

    ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයේදී තරග වැදුණේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

    ඉන් ලකුණු 12කින් ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ මූලික වටයේ ලකුණු සටහනට අනුව දෙවැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකාව සහ තුන්වැනි ස්ථානය දිනූ දකුණු අප්‍රිකාව සමඟ. ඉන් කඩුලු 8කින් ජයගත් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

    ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සනත් ජයසූරිය, උපුල් තරංග, රංගන හේරත්, නුවන් කුලසේකර, දම්මික ප්‍රසාද්, රසල් ආර්නල්ඩ් වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

    ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සචින් ටෙන්ඩුල්කාර් විසින්. විරේන්ද්‍ර ෂෙවාග්, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්, යුවරාජ් සිංග්, ප්‍රග්යාන් ඕජා සහ මුනෆ් පටෙල් ඉන්දීය කණ්ඩායමට ඇතුළත් විශිෂ්ට‍ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්.

    මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ ටී.එම්.ඩිල්ෂාන්ට හිමියි. ඔහු ලකුණු 250ක් රැස්කර ගෙන තිබේ. ඩිල්ෂාන් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන්නේ කඩුලු 12ක් දවා ගනිමින්.

    ඉනිමක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වන්නේ උපුල් තරංග. ඔහු නොදැවී ලකුණු 99ක් ලබාගෙන තිබේ. ඉනිමක වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වන නුවන් කුලසේකර අවසන් පූර්ව තරගයේදී ලකුණු 25කට කඩුලු 05ක් දවාගත්තේය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය අද පස්වරු 6.50 සිට චැනල් අයි නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on ඉරිදා, 21 මාර්තු 2021 18:44

    Latest News