ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟින් අවසන් තරගයට

දෙසැ 13, 2018

    ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල අද (13) සමත් විය.

    ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 04කින් ජය ලබාගනිමින්. තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නේය. පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 237ක් ලබාගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූහ.

    ආරම්භක පිතිකරු මිස්නුර් රහමන් ලකුණු 72 ලබාගැනිමට සමත්විය. යසීර් අලි ලකුණු 66යි. චාමික කරුණාරත්න දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය. වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ඕවර 10 යේදී ලකුණු 28 ක් පමණක් ලබාදෙමින් බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කළේය.

    ලකුණු 238ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02කදී කඩුලු හයක් දැවී ලකුණු 241ක් ලබා සිය ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු තුන 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුව වන විට බිඳ වැටුණි. ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් කඩුලු වැටීමේ පාඩුව අවම කළේය.

    මැද පෙළ පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කර නොදැවී ලකුණු 91ක් ලබාගනිමින් තරගයේ නියමුවා බවට පත්විය.

    අනෙක් අවසන් පූර්ව තරගය කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ඉන්දියාව සහ පකිස්තානය අතරයි.  එම තරගයෙන් ඉන්දියාව කඩුලු 7කින් ජයලැබීය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානය පන්දුවාර 44යි, පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 172කි.  පිළිතුරු ලෙස ඉන්දියාව තරගය ජයගනු ලැබුවේ පන්දුවාර 27යි, පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 178ක් රැස් කරමිනි. 

    ඒ අනුව තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. තරගය ලබන 15 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. 

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 13 දෙසැම්බර් 2018 19:51

    Latest News