කෙසෙල් පට්ටයෙන් ඇඟලුම්

දෙසැ 27, 2019

    ශ්‍රී ලංකාවට නව ඇඟලුම් කර්මාන්තයක් හඳුන්වා දෙමින් කෙසෙල් පට්ටයෙන් ඇඟලුම් නිර්මාණය කිරීම ඇරඹෙයි.

    එම වැඩසටහන හඳුන්වාදීම අද(27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පේශ හා ඇඟලුම් ආයතනය මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. ඔවුන්ගේ වසර ගණනාවක පර්යේෂණවලින් පසුව කෙසෙල් පට්ටා භාවිතයෙන් නූල් සාදා එමගින් ඇඟලුම් නිර්මාණය කිරීම සිදු කෙරේ. එම ආයතනය මගින් නිර්මාණය කළ විවිධ ඇඟලුම් ද මෙහි දී ප්‍රදර්ශනයට තබා තිබිණ.

    bannatextile---3.jpg

    මෙය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ නව කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව එහි දී සඳහන් විය. ශ්‍රී ලංකා පේශ හා ඇඟලුම් ආයතනයේ සභාපති එම්. ඒ. තාජුඩීන්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ධර්මසිරි වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පේශ හා ඇඟලුම් ආයතනයේ තාක්ෂණවේදී ඒ. ඩී. එස්. අයි. මුම්ටාස් මහත්මිය මෙම ව්‍යාපෘති පිළිබඳ හඳුන්වා දීමට එම අවස්ථාවට එක්ව සිටියහ.

    bannatextile---1.jpg

    ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ම භාවිතා වන පළතුර වන්නේ කෙසෙල් වන අතර කෙසෙල් කැන කපා ඉවත් කළ පසු කෙසෙල් ගස විනාශ කර දමනු ලැබේ. එය විනාශ කිරීමට හා ඉවත් කිරීමට විශාල වෙහෙසක් දැරීමට ගොවීන්ට සිදුවේ. නව ව්‍යාපෘතිය මගින් කෙසෙල් කඳටද ගොවීන්ට මිලක් ලබා ගැනීමේ හැකියා පවතියි. දැනට ශ්‍රී ලංකාවේ කෙසෙල් වර්ග 25ක් පමණ ඇති අතර හෙක්ටයාර් පනස් තුන්දහස් පමණ කෙසෙල් වගා කෙරේ.

    bannatextile---2.jpg

    කෙසෙල් පට්ටා තුළින් ඇඟලුම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 25ක පමණ වාර්ෂික ආදායමක් බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා පේශ හා ඇඟලුම් ආයතනය කියා සිටියි. ක්‍රමක්‍රමයෙන් කෘතිම ඇඟලුම් භාවිතයෙන් ඉවත් වන නූතන ලෝකයට මෙම නව නිර්මාණ ඉතා ඵලදායී වන බව එම ආයතනය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පේශ හා ඇඟලුම් ආයතනය මගින් ළමා ඇඳුම් සඳහා ප්‍රමිතියක් ද හඳුන්වා දී ඇති අතර එම ප්‍රමිතිය සහිත ලාංඡනය ඇති ඇඳුම් පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹවීම ද ඔවුන්ගේ තවත් ව්‍යාපෘතියකි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ රටේ ඉදිරිගමනට විදේශ විනිමය ඉපයීමට මෙය වඩාත් ඵලදායි ව්‍යාපෘතියක් බවයි. පාසල් නිල ඇඳුම් සඳහා ද මෙම තත්ත්ව සහතික ලබා දිය යුතු ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් දිවයින පුරා අලෙවි කරන රටක ළමා ඇඳුමට හෝ ප්‍රමිතියක් ඇති කිරීම වැදගත් බව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 16:35

    Latest News