ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියෙක්; ජනාධිපතිවරණයට පෙර අහෝසිය ඔප්පු කරන්න; ඇමති මංගල

නොවැ 06, 2019

    මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අවධානය යොමු කරනවාට වඩා ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයෙකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරිම සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කර නොමැතිවීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බිරිඳ සහ පුතා තවදුරටත් අමෙරිකානු පුරවැසියන් බව අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී අවධාරණය කළේය. 2019 මුල් මාස හය තුළ අමෙරිකානු පුරවැසිභාවය අතහැරි 1090කගේ නම් අමෙරිකානු විසින් නිවේදනය කර ඇති බවත් ඔහු කියා සිටියේය. ගෝඨාභය රාජපක්‍ෂ 2019 දී පුරවැසිභාවය අතහැරි බවට කිසිදු සඳහනක් නිල වශයෙන් වාර්තා වී නොමැති බවද ඔහු අවධාරණය කළේය. අමෙරිකාවේ දිසා අධිකරණ 94ක වාර්තා පරීක්‍ෂා කළ ද එවැනි පුරවැසි භාවය අහෝසි කරගැනිමක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

    අමාත්‍ය මංගල සමරවීර....

    “ඩී.එස්. 4079 අයදුම්පත ද අනුමත කර ගත යුතු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා. නමුත් කිසිදු ඩී.එස්. 4079 අනුමැතියක ගෝඨාභය රාජපක්ෂ සඳහා අමෙරිකානු දිස්ත්‍රික්ක උසාවි 94ම සඳහන් වී නැහැ. එම උසාවිවලින් මේ පිළිබඳ විමසීමක් කළා. නමුත් කිසිදු ආකාරයේ ඔහුගේ පුරවැසිභාවය අත්හල බවට සඳහනක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මේ පිළිබඳව ලේඛනගත කිරීම් තවමත් සිදු වෙමින් පවතී. මෙවැනි ගනුදෙනුවක් සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා අමෙරිකානු මහා භාණ්ඩාගාරය අතර මාස 16-24 ක කාලයක් ගතවන අතර බදු සඳහා ඇති ලිපිගොනු අවසන් කිරීමෙන් අනතුරුවයි. පුරවැසිභාවය අත්හැරීමේ ක්‍රියාවලිය අවසන් වන්නේ. ඉන් පසු මාස 06-09 ක කාලයක් පසුව තමයි ඩී.එස්. 4079 අනුමැතිය ලැබෙන්නේ පුරවැසිභව අත්හැරීම සඳහා“ යැයි මංගල සමරවීර මහතා පැවසීය.

    ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් ව සිටින මේ අවස්ථාවේදී ද අමෙරිකානු පුරවැසියෙකු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අප බලාපොරොත්තු නොවන අන්දමින් ගෝඨාභය රාජපක්‍ෂ නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු අමෙරිකානු පුරවැසියෙකු බව මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දුනි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳට පසු අමෙරිකානු පුරවැසියෙකු ජනාධිපති ආර්යාවක් ලෙසින් ශ්‍රී ලංකාවෙන් බිහිවන බව ද ඔහු කියා සිටියේය. අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂට අභියෝග කරන බවද ඔහු පැවසීය. එය ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ප්‍රකාශ කළ යුතු බව ද ඔහු පෙන්වා දුනි.

     

     

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 20:20

    Latest News