හෙට සිට දුම්රිය 30ක් ධාවනයට; අමාත්‍ය අශෝක් අබේසිංහ

ඔක් 06, 2019

    හෙට සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් දුම්රිය 30ක් ධාවනය කෙරෙන බව, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    සේවයට වාර්තා නොකළ සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව ඔහු කියා සිටියේය. කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා....

    “මේ වර්ජනය ඉතා අසාධාරණ වර්ජනයක්. ජනතාවගේ බදු මුදලින් ලක්‍ෂ තුනකට වඩා වැටුප් ලබද්දී ජනතාව අපහසුතාවට පත් කිරීම ඉතා අසාධාරණයි. ඔවුන් ඊයේත් මට කතා කරලා කිව්වා සාකච්ජාවක් ලබා දෙන්න කියලා. සාකච්ජා 4ක් ලබාදුන්නා. ඉන් පසුව ඔවුන් එකඟවෙනවා කියලා. ඉන් පස්සේ එකඟවෙන්නේ නැහැ. මම කිව්වා නැවත සාකච්ජා ලබාදෙන්නේ වැඩට ආවොත් පමණයි. මම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝග කළා තමන්ගේ ආයතනය නිසි පරිදි පවත්වා ගෙන යන්න තමන්ගේ බලතල අනුව ක්‍රියාකරන්න කියලා. ඒ වගේම යුද හමුදාපතිවරයා අපිත් සමඟ සාකච්ජා කළා එතුමා ප්‍රකාශ කළා යුද හමුදාවේ ප්‍රමාණයක් දුම්රිය රියදුරන් වශයෙන් පුහුණු කරන්න අවසරය ලබා දෙන්න කියලා. මම ඒ අවසරය ලබාදුන්නා. කොටස් තුනක් වශයෙන් රියැදුරන් 30ක්, නියාමකයන් 30ක් සහ ස්ථානාධිපතිවරු පුහුණු කරන්න. දුම්රිය වර්ජනය ආරම්භ කළ අවස්ථාවේම අපි දුම්රිය 6ක් ධාවනය කළා.

    ඊට පසුව ඒක 12 බවට පත්වුණා. ඊයේ වෙද්දි දුම්රිය 23ක් ධාවනය කළා. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ දැන් සේවකයෝ ක්‍රම-ක්‍රමයෙන් සේවයට වාර්තා කරනවා, ඔවුන්ට බලපෑම් කරනවා. ඔවුන්ට බලපෑම් කරන නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මගෙන් ඉල්ලීමක් කළා පොලිස් ආරක්‍ෂාව ලබාදෙන්න කියලා. අපි දැන් සෑම දුම්රිය එන්ජිමකටම පොලිස් ආරක්‍ෂාව ලබාදීලා තියෙනවා. යුද හමුදාව දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව සපයලා තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 39ක් ඉන්නවා එයින් ඇවිල්ලා තියෙන්නේ හත් දෙනයි. තිස් දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ 30 දෙනාගෙම කොන්ත්‍රාත් කාලය අවසන් කරන්න කියලා මම නියෝග දීලා තියෙනවා. වැඩට එන්නේ නැති සියලුම කොන්ත්‍රාත් පදනමේ අයගේ සේවය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. රජයක් වශයෙන් ජනතාවට වු අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා“ යැයි අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    Latest News