සියලු ණය නිසි පරිදි ගෙවීමට රජය සූදානම්

නොවැ 22, 2018

    ශ්‍රී ලංකාව ණය සේවාකරණය සම්බන්ධයෙන් නොකැලැල් ඉතිහාසයක් තිබෙන රටක් හා එම බැඳීම අඛණ්ඩවම පවත්වාගෙන ඇති ආකාරයට සියලු ආයතනවලින් ලබාගෙන ඇති ණය නිසි පරිදි ගෙවන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

    2019 මුදල් වර්ෂය තුල ශ්‍රී ලංකා රජයට එහි ණය සේවාකරණය කිරීමට නොහැකි වනු ඇති බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා රජය 1937 අංක 7 දරණ ශ්‍රී ලංකා ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත, 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ 1957 අංක 29 දරණ විදේශ ණය පන ඇතුළු විශේෂ පනත්හි ප්‍රතිපාදන අනූව, ණය ලබාගෙන ඇති බවයි, අමාත්‍යාංශය පවසන්නේ. අදාළ නියමයන් සහ කොන්දේසි යටතේ එලෙස ලබාගෙන ඇති ණය සඳහා වන ණය සේවාකරණයට අදාළ ගෙවීම්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මතු දක්වන ලද සුවිශේෂී නීති යටතේ දක්වා ඇති පරිදි ඒකාබද්ධ අරමුදලෙන් නීත්‍යානුකූල ලෙස සිදුකළ හැකියි. අදාළ අනපනත්වල ප්‍රතිපාදන සළස්වා ඇති පරිදි 2019 මුදල් වර්ෂය තුල සිදු කළයුතු ණය සේවාකරණයන් ණය ලබා ගැනීමේ දී එකඟවන ලද අදාළ කොන්දේසි සපුරාලමින් සිදු කරන බවයි, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    ශ්‍රී ලංකාව සියලුම ණය දීමනාකරුවන් වෙත මින් පෙර නියමිත දිනට පැහැර නොහැර සිදු කරන ණය ගෙවීම් සිදු කළාසේම, ඉදිරියටත් එකී ගෙවීම් නියමිත දිනට සිදු කරනු ලබන අවධාරණකර සිටී. ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම් සම්බන්ධව මෙතෙක් පවත්වාගෙන ආ නොකැළැල් වාර්තාව මේ අනූව ඉදිරියටත් පවත්වාගෙන යනු ඇති.

    2019 වසරේ දී කල්පිරෙන අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළත්ව සියලු ණය ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහබැංකුව සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News