ශ්‍රී ලංකා කාම්බෝජ සෘජු ගුවන් සේවා ඇරඹීමට අවධානය

අගෝ 08, 2019

    කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කාම්බෝජ අග‍්‍රාමාත්‍ය හුන් සෙන් මහතා අතර හමුව අද (08) පස්වරුවේ සිදුවිය.

    කාම්බෝජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වන සාම මන්දිරයේ දී මෙම හමුව සිදුවූ අතර කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

    අතීතයේ සිටම ඉහළ මට්ටමෙන් පැවති දෙරට අතර ආගමික හා සංස්කෘතික සබැදියාව මෙහිදී සිහිපත් කළ අග‍්‍රාමාත්‍යවරයා එම ඓතිහාසික සබැඳියාව පදනම් කරගනිමින් දෙරට අතර සංචාරක සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ. දෙරට අතර සෘජු ගුවන් සේවා ඇතිකරගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයට ලක්වූ අතර ඉදිරියේ දී සිවිල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

    එමෙන්ම ආර්ථික, වෙළෙඳ ක්ෂේත‍්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් අධ්‍යාපනික සහ තරුණ අත්දැකීම් හුවමාරු වූ වැඩසටහනත් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත් නායකයෝ සාකච්ඡා කළහ.  දෙරට අතර දීර්ඝ කාලයක සිට ද්විපාර්ශවික සබඳතා පැවතිය ද දෙරටේම තානාපති කාර්යාල ස්ථාපිත කර නොමැති අතර ඒ සඳහා කඩිනමින් කටයුතු කිරීමට ද සාකච්ඡා විය.

    අන්තර් වෙළෙඳපොළ අවස්ථාවන් සහ වෙළෙඳපොළ වාසි ලබාගැනීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමුවූ අතර ආයෝජන ආරක්ෂාව සඳහා නෛතික පදනමක ඇති අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ කිසිදු රටක් තවත් රටක බලපෑමට ලක්නොවිය යුතුය යන්න තම විදේශ ප‍්‍රතිපත්තිය බවයි. ආසියාන් සංවිධානයේ ප‍්‍රධාන රටක් වන කාම්බෝජය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අවධාරණය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ දෙරටේ ඈත් වීම දෙරටටම පාඩුවක් බවත් ඉදිරියේ දී තානාපති සබඳතා ශක්තිමත් කරගැනීමට කඩිනම් පියවර ගැනීමට ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදෙන බවත් ය.

    කාම්බෝජ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳ ජනාධිපතිතුමා වෙත ස්තුතිය පළකළ කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා සමාන ආගමික සහ සංස්කෘතික පසුබිමකට හිමිකම් කියන දෙරට අතර සබඳතා සියලූ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ශක්තිමත් කරගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේ ය.

    එමෙන්ම පසුගිය අප්‍රේල් 21 වනදා ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ත‍්‍රස්ත සිදුවීම පිළිබඳව කණගාටුව පළකිරීමට ද කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.
    නායකයන් අතර හමුවෙන් පසුව ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණි.

    ඒ අනුව දේශපාලන උපදේශනය පිළිබඳ එකඟතා ගිවිසුමට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අත්සන් තැබූ අතර කාම්බෝජ රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම්වරයා අත්සන් තැබීය. ශ‍්‍රී ලංකා කාම්බෝජ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට අදාළ ගිවිසුමට දෙරටේ වානිජ මණ්ඩල සභාපතිවරු අත්සන් තැබූහ.

    cambodiaslpre4 px 900 19 08

    cambodiaslpre1 px 900 19 08

    Latest News