“මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය ජන අයිතියට

අගෝ 01, 2019

    ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) කොළඹ දී පැවසීය. 

    පාස්කු ප්‍රහාරයෙන් පසු නිසි ක්‍රියාමාර්ග ගනිමින් ශක්තිමත්ව ඉදිරියට පැමිණ කෙටි කාලයක් තුළ රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත් කියා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ගත වූ කෙටි කාලය තුළ පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 1000 කට අධික ණය ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම, ජපානයේ බැඳුම්කර වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 500 ක සමුරායි බැඳුම්කර ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ඉදිකළ “මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (01) සහභාගි වෙමිනි. රුපියල් මිලියන 7000 ක වියදමින් ඉදිකරන ලද මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626 කින් හා වෙළෙඳසැල් 120 කින් සමන්විත වේ.

    “මෙට්‍රෝ හෝම්ස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය......

    “කොළඹ නගරය දියුණු කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ වියදම් කළ සම්පූර්ණ මුදල් ප්‍රමාණය වඩා වැඩි මුදලක් වත්මන් ආණ්ඩුව එක් වසරකදී ජනතාවගේ නිවාස අයිතිය වෙනුවෙන් වැය කරමින් කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කර තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රට කඩා වැටෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව මත පළ කළා. නමුත් අපි ගනු ලැබූ නිසි පියවර නිසා කෙටි කලකින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණා. බෝම්බ ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ඩොලර් මිලියන 1000 කට වඩා වැඩි ණය ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ වන විට ජපානයේ බැඳුම්කර වෙළෙඳපොලට ගොස් ඩොලර් මිලියන 500 ක සමුරායි බැඳුම්කර ලබා ගැනීමට පියවර ගනිමින් සිටිනවා.”

    මෙරට නිවාස ඉතිහාසයේ විප්ලවීය පරිවර්ථනයක් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එහිදී පෙන්වා දුන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, පසුගිය 10 වසරක් තුළ නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ වැඩ කටයුතුවලට වඩා වැඩි කොටසක් ඉතා කෙටි කලක් තුළ වත්මන් ආණ්ඩුවට සිදු කිරීමට හැකි වූ බව පැවසීය.

    මීට වසර 5 කට පමණ පෙර මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිය නිවාස වලින් පිටමං කරන විට ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කර දීමට තමා මැදිහත් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අංග සම්පූර්ණ නිවාස පද්ධතියක් එම ජනතාව වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බවත් එහිදී අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

     මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, හිටපු පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් හාජ්ජියාර්, ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ

    Latest News