I.H.K මහනාමට හා පියදාස දිසානායකට එරෙහි නඩුව 9/9 සිට විභාගයට

ජූලි 22, 2019

    රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ නඩුව සැප්තැම්බර් මස 09 වැනිදා විභාගයට ගන්නා බවයි.

    එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ .නාගරාජ මහතා වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබීය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික සාක්ෂි වල පිටපත් විවෘත අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශ්වය වෙත ලබා දීමද සිදු කරනු ලැබීය.

    2018 වසරේ මැයි මස නව වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

    ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම්කර තිබේ. ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.

    Last modified on සදුදා, 22 ජූලි 2019 12:24

    Latest News