විදේශ රටවල සුරක්ෂා නිවාසවල සිටි කාන්තාවන් 858 දිවයිනට

ජූලි 12, 2019

    විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු 2019 ජූලි 11 දින වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ.

    ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ප්‍රමාණය 588කි. සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයින් 146 දෙනෙකු එහි රැදී සිටිති.

    සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැදී සිටි ශ්‍රමිකයින් 18 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට තවත් 33 දෙනෙකු එහි රැදී සිටිති. ජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12ක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට කිසිදු ශ්‍රමිකයෙකු එහි රැදී නොසිටී.

    ඒ අනුව ලොව පුරා පිහිටි තානාපති කාර්යාල කම්කරු අංශ 12ක් යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල මේ වන විට රැදි සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය 263කි.

    2019 මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් විදේශ ගතවී ඇති පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 56,526කි. එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්ත ප්‍රමාණයෙන් 59% කි. පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626 කි.

    2019 ජනවාරි සිට ජූනි දක්වා ගතවූ කාලය තුළ කාන්තාවන් 39,382 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර එය සමස්ත විදේශ ගතවීම්වලින් 41% කි. කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් රැකියා සදහා ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 14,948 කි.

    2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කුවේට්හි රැකියා සදහා ශ්‍රමිකයින් 20,601 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 19,026 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. එසේම සෞදි අරාබියෙහි රැකියා සඳහා ශ්‍රමිකයින් 16,747 දෙනෙකුද පිටත්ව ගොස් ඇත.

    Latest News