රතුපස්වල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

ජූලි 10, 2019

    රතුපස්වල උද්ඝෝෂණකයන් මර්දනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

    පසුගිය රජය සමයේ රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය ආරක්ෂා කර ගැනීම සඳහා උද්ඝෝෂණය කළ ජනතාව වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට මිනිස් ඝාතන හා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා මෙසේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම අද(10) අගවිනිසුරුවරයා වෙත යොමු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස යුද හමුදා බ්‍රිගේඩියර් වරයෙකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන සහ ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න හා ලලිත් ග්‍රේ යන යුද හමුදා සෙබළුන් තුන් දෙනා නම් කර තිබේ.

    ඔවුන්ට එරෙහිව චෝදනා 94 ක් යටතේ නඩු පැවරීමට නියමිත බව ද නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ. දැඩි මහජන කැළඹීමකට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීම යෝග්‍ය බව නීතිපතිවරයා විසින් තීරණය කර ඇත.

    ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නඩුව විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙසට නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකළ ලිඛිත ඉල්ලීමේ සඳහන් කර තිබේ.

    2013 වසරේ අගෝස්තු මස 01 වනදා වැලිවේරිය ,රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවකින් ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වන බව සඳහන් කරමින් උද්ඝෝෂණයක නිරතවූ ජනතාවට වෙඩිතැබීම හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මරණයට පත්වූ අතර 16 දෙනෙකු වෙඩි වැදී තුවාල වූ බවත් තවත් 08 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලැබූ බවත් නීතිපතිවරයාගෙන් ලිපියේ සඳහන් වේ. එහිදී බරපතළ නොවන තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 21 ක් බව ද අගවිනිසුරුවරයා වෙත යොමු කළ සිය ලිපියෙන් නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

    Latest News