රාජ්‍ය සේවක වැටුප්; ත්‍රිවිධ හමුදා දීමනා අද සිට ඉහළට

ජූලි 01, 2019

    ඉහළ නැංවූ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ත්‍රිවිධ හමුදා දීමනා අද සිට ක්‍රියාත්මකයි. ඒ 2019 අය වැය යෝජනා අනුවයි.

    ඒ අනූව, ලක්ෂ 11ක් වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500ක අන්තර්කාලීන දීමනාවක්, ආරක්ෂක අංශ දීමනා හා විශ්‍රාම වැටුප් වැඩිකිරීම,විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවෙනු ඇති. මේ සඳහා රජය වෙන්කළ මුදල රුපියල් මිලියන හතළිස් දහසකට අධිකයි. රුපියල් 2500ක් වන රාජ්‍ය සේවකයන්ගේ අන්තර්කාලීන දීමනාව වෙනුවෙන් රජය වැයකරන මුදල රුපියල් මිලියන විසි දහසක්. එම අන්තර්දීමනාව ක්‍රියාත්මක වුවද මෙතෙක් රාජ්‍ය සේවයන්ට ලබාදුන් රුපියල් 7800ක ජීවන වියදම් දීමනාව එලෙසම තවදුරටත් ලබාදෙනු ඇති.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කර තිබේ. යුද නාවික හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ කර්මාන්ඩර් දීමනාව රුපියල් දහසේ සිට පන්දහස දක්වා වැඩි කෙරේ. ඊට රජය වැයකරන මුදල රුපියල් මිලියන 1175ක්.

    විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද ක්‍රියාත්මකයි. ඒ අනූව, 2015 දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගිය ලක්ෂ 5ක් පමණ වන සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 2800ක අවමයක සිට රුපිය්ල විසිදහසක උපරිමය දක්වා විශ්‍රාම වැටුප් ඉහළ නැවෙනු ඇති. විශ්‍රාමිකයන්ගේ රුපියල් 3500ක ජීවන වියදම් දීමනාව එලෙස පවතී. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන දොලොස් දහසක් රජය වැය කරයි.

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් දෙදහසේ සිට පන්දහස දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනා ක්‍රියාත්මක වෙයි. මෙතෙක් එම දීමනාව හිමිවූ තිස් දෙදහසකට අමතරව පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් ද ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හැත්තෑ දෙදහසකට මෙම දිමනාව හිමිවෙයි. ඊට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4350ක්.
    නිධන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින විසි එක්දහසටක අධික පිරිසකට රජය රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදෙයි. තවත් පන්දහසකට එම දීමනාව ලබාදෙනු ඇති. ඒ වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1840ක්.

    Last modified on සදුදා, 01 ජූලි 2019 08:02

    Latest News