බත් දන්සැල අද සහ හෙට පැරකුම් සමුදුර අභියස දී

ජූනි 16, 2019

    පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 59 වන වරටත් අද (16) සහ හෙට (17) දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියස දී පැවැත්වෙන අතර අද (16) බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක් පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂික ව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.

    මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරුණු අතර උතුරු, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතනාරාම විහාරාධිකාරී පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් පුණ්‍යානුමෝදනාව සහ විශේෂ අනුශාසනාව සිදු කළහ. දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි විශාල ජනතාවක් දන්සල වෙත පැමිණ සිටි අතර ඔවුන්ට ආහාරවලින් සංග‍්‍රහ කිරීමට ද එක් වූ ජනාධිපතිතුමා එම ජනතාව සමග සුහද කතා බහක නිරතවීමට ද අමතක නොකෙළේය. දන්සැල අද සහ හෙට දිවා රාති‍්‍රයේ දෙකෙහිම පැරකුම් සමුදුර අභියස දී පැවැත්වේ.

    Latest News