ඉදිරි දිනවලත් සුළං සහ වැසි තත්වයේ වැඩිවීමක්

ජූනි 10, 2019

    නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ජනතාව වඩා සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේ ද පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල හෙට දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තද වැසි හටගනු ඇත.

    අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50ක් දක්වා තද සුළං හටගනු ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 60ක් දක්වා තද සුළං අපේක්‍ෂා කළ හැකියි.

    ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60-65ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ නිවේදනයේ දැක්වේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස නිවේදනයේ දැක්වේ.

    Latest News