කිසිදු වඩු මඩුවක් තහනම් කිරීමට යෝජනා වී නැහැ - රාජ්‍ය ඇමති

ජූනි 09, 2019

    කිසිදු වඩු මඩුවක් තහනම් කිරීමට යෝජනා වී නොමැති බවත්, තහනම් කෙරෙනුයේ ජංගම ලී මෝල් පමණක් බවත්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් ප්‍රකාශ කළ අජිත් මාන්නප්පෙරුම මහතා....

    “ජනාධිපතිතුමා තීන්දුවක් දුන්නා අලුතින් ලී මෝල් ඇති කරන්න එපා. තියෙන ලී මෝල් රටට හොඳටම ප්‍රමාණවත් කියලා. හැබැයි මේ ලී මෝල්වලට එන දැව ප්‍රමාණය වාර්තා කරන්න ඕනේ මාසෙන්, මාසෙට. ඒක අපි හිතනවා සුබදායී දෙයක්. නමුත්, එතුමා කිව්වා ලී මෝල් සංඛ්‍යාව ඇති දැන් හොඳටම මේ රටේ තියෙන. අලුතින් ලී මෝල් හදන්න ඕනේ නැහැ. එතුමා කිව්වා වඩු මඩුත් අලුතින් හදන්න දෙන්න ඕනේ නැහැ. තියෙන වඩු මඩු දියුනු කරන්න. ඒ මිනිස්සුන්ට උදව් කරන්න. නවීන යන්ත්‍රෝපකරණ ලබාදෙන්න. ඒ වඩු මඩුවල කාර්යක්‍ෂමතාව උපරිම වැඩි කරන්න. ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍ර නීති-රීති හදන්න.

    මේ ජංගම ලී මෝල් කියන ඒවා ට්‍රැක්ටර්වලට හයි කරලා කැලේ ඇතුළට අරගෙන ගිහිල්ලා වන විනාශය සිදු කරලා එතනින් එලියට එන්නේ ලීය විතරයි. ජංගම ලී මෝල් නිසා කැලයට වන හානිය ඉතාමත් වැඩියි. රහසිගතව මේක සිද්ධ වෙනවා. තුන් සියයකට ආසන්න ප්‍රමාණයකට බලපත්‍ර දීලා තියෙනවා. අන්න ඒ ජංගම ලී මෝල් දැන් බලපත්‍ර දීලා තියෙනවා. ඒවා අවලංගු කරන්න විධියක් නැහැ. වැරදි කරත්. හැබැයි ඒවා 2022 වන කොට මේ ජංගම ලී මෝල් නැති වෙන විධියට ගැසට් එක සකස් කරන්න කියලා උපදෙස් දුන්නා.

    පරිසර දිනයේ දී මේ අදහස් තියාගෙන කරන ලද ප්‍රකාශය විවිධ විධියට උලුප්පලා විපක්‍ෂය වාසි ගන්න උත්සාහ කරනවා. මම වගකීමෙන් කියනවා පවතින කිසිම ලී මෝලකට, පවතින කිසිම වඩු මඩුවකට කිසිම දවසක වහන්න කියලා කටයුත්තක් ගැසට් එකේ සඳහන් වෙන්නේ නැහැ. වෙලත් නැහැ, වෙන්න උපදෙස් දීලත් නැහැ“ යැයි අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 20:37

    Latest News