පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය පිරිනැමීමේ තීරණයක් (වීඩියෝ)

ජූනි 05, 2019

    ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අද (05 වන දා) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියළු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියළු සැලසුම් දියත් කර ඇති බවයි.

    අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්‍ෂ දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ වෙනුවෙන් සියළු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

    වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරණ් ගණනාවක් එවක පැවති ආරක්‍ෂක තත්වය මත ප්‍රදර්ශනය නොකෙරුණද, ඒ සියල්ලම පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
    මේ අවස්ථාවට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසූයේ දිවයිනේ සියළුම දිසා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ජූනි 13 වන දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සහ පසුදා සංඝගත දක්‍ෂිණාවන් පොසොන් උළෙල වෙනුවන් පැවැත්වීමට කටයුතු කරන බව යි. ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට අලංකෘත කරලීමට ද පියවර ගන්නා බව අබේවර්ධන මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ ප්‍රාදේශීය වශයෙන් පාසැල් කේන්ද්‍ර කොට ගෙන ධර්ම දේශනා හා ශීල ව්‍යපාර සංවිධානය කෙරෙන බවයි. මේ සඳහා වූ චක්‍රලේඛනය හෙට (06 වන දා) නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසියීය. මහා සංඝරත්නයේ උපදෙස් පරිදි ජූනි 14 වන දා අරලියගහ මන්දිරයේදී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් මහා ශීල ව්‍යාපාරයක් පවත්වන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් පෙන්වා දුනී.

    ජාතික තරුණ සේවා සභාව මගින් මහරගම පොසොන් කලාපයක් සංවිධානය කෙරෙන අතර, දිවයින පුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් පෙළක් ද ක්‍රියාත්මක කරලීමට නියමිතයි.

    පැල්පොල විපස්සි පදනමේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නාහිමි, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමි, මතුරට ධම්මාලංකාර නාහිමි, සේදවත්ත පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥාණාලෝක හිමිවරුන් ද, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ, මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

    Last modified on බදාදා, 05 ජූනි 2019 22:22

    Latest News