ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසකට පොදු සමාව...ප‍්‍රථම වතාවට ජනාධිපතිවරයෙකු එම අවස්ථාවට (වීඩියෝ)

මැයි 18, 2019

    වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(18) සිදුවිය.

    බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සහ එම උත්සවයට ජනාධිපතිවරයෙකු සහභාගී වීම අද පැවති උත්සවයේ විශේෂත්වයයි.

    අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපතිතුමා වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැති උත්වසය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

    බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ජනාධිපතිතුමා ඔවුන් හඬට ඇහුම්කන් දීමට ද මෙහිදී කටයුතු කළේය.

    සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැඳවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

    අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිතුමා අද දින නිදහස ලබන සියලූදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය. ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

    බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන අතර තමා ඝාතනයට කිරීමට පැමිණ, අධිකරණයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි පුද්ගලයාට ද නිදහස ලබාදීමට එතුමා පසුගිය 2016 ජනවාරි 08 වනදා කටයුතු කළේය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලූ පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙන්ම, රට තුළ අපරාධ වැඩවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම බවයි.


    බන්ධනාගාර රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබඳ රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා බන්ධනාගාර රැඳවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රැඳවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශිලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.


    නිදහස ලබන රැඳවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවි ය.


    මේ අතර බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපතිතුමා වෙතින් කළ ඉල්ලීම ඉටුකිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී පියවර ගත්තේය. බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ඔහු මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි. තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, තරඟාවලියට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව සළසා දෙන ලෙසත් ඔහු ජනාධිපතිතුමා හමුවී ඉල්ලා සිටි අතර නිබන්ධනය සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා අදාළ තරඟාවලියට ඉදිරිපත්විමට ඉඩ ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු ඉටුකරදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙත උපදෙස් දුන්නේය.

    ඇමතිණි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පිරිස් යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිවි. තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    එමෙන්ම රැඳවියන් හා සහභාගීවන්නන් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබු වෙසක් බත් දන්නල විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අද දින නිදහස ලැබු රැඳවියන් වෙත ආහාරපාන වලින් සංග‍්‍රහ කිරීමට ජනාධිපතිතුමා එහිදී එක්විය.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 12:44

    Latest News