බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීමේ බුදුන්ගේ අනුශාසනය වෙසක් දින සිහිකර ගනිමු

මැයි 18, 2019

    බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ - අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා මේ බව පවසයි. ක්‍රි. පූ. සවැනි සියවසේ, එවක භාරත දේශයේ ශාක්‍ය ජනපදයෙහි උපත ලැබ, නේරංජනා නදී තීරයේ පිහිටි බුද්ධගයාවේ බෝරුක මුලදී බුද්ධත්වයට පත්ව කුසිනාරාවේ උපවත්තන නම් සල් වනයෙහි දී පරිනිර්වාණයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකී ත්‍රිවිධ ජීවන අවස්ථා අනුස්මරණය කරමින් පූජෝපහාර පවත්වන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි.

    සාවුරුද්දක් මුළුල්ලේ ගංගා නිම්නයෙහි සැරිසරමින්, පරසිදු ආචාර්යවරුන්ගේ ධර්ම මාර්ග ගවේෂණය කරමින්, දුෂ්කර වෘතයන්හි යෙදුණ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, අවසන වීර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කොට මනුෂ්‍ය බුද්ධියෙන්ම බුද්ධත්වය සාක්ෂාත් කළහ.

    බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතුය.

    භීතිය, අන්තරාය විරහිත අන්‍යෝන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක උදාව පිණිස භාග්‍යවතුන් වහන්සේ‍ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍යය කෙරෙහි අප යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතකය.

    අබෞද්ධයන් බෞද්ධ කිරීම සඳහා හෝ තම ශාස්තෘවරයාගේ නාමයෙන් හෝ එකදු ලේ බිඳක් නොසෙල් වූ, ධර්මය ධර්මය ලෙසම දක්වාලූ වසර 2500ක් ඉක්ම වන උදාර බෞද්ධ ඉතිහාසයක් පිළිබඳ අවබෝධයක් ඇති අපි, අවි ආයුධ බලය අතිශය තාවකාලික බව වටහා ගත්තෝ වෙමු.

    කවර පරමාර්ථයකින් පෙනී සිටියත් පාපය නිරයට මඟ බව දැන, බුදුන් වහන්සේ වදාළ මෙත් කරුණා ගුණ පෙරදැරි, අදහම දහමින්ම පිටු දක්නා මඟට ප්‍රවේශව, මේ රට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරුපද්‍රිත දේශයක් බවට පත් කිරීමට මේ වෙසක් සමයේ අපි අදිටන් කර ගනිමු. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 07:50

    Latest News