ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැපවෙමු;ජනපති

මැයි 10, 2019

    ජාති, ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලූ දෙනා එකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    දේශපාලන වශයෙන් එකිනෙකා ව්වේචනය කරමින් සහ ජාතිවාදය වපුරමින් බෙදී වෙන් වන විට ශක්තිමත් වන්නේ ත‍්‍රස්තවාදින් බව අමතක නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ මධ්‍යම පළාතේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ අද (10) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේදී ය.

    ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අභියෝගයක් වූ අන්තවාදී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමේ දී රටක් ලෙස සංහිඳියාව ඉතා වැදගත් බව අවධාරණය කළ ජනාධිපතිතුමා එසේ නොමැතිව ජාති සහ ආගම් වශයෙන් බෙදී වෙන්වී එකිනෙකා දෙස වෛරයෙන් බැලිමට පටන් ගතහොත් ජයග‍්‍රහණය කරන්නේ සතුරා බවත්, රටේ වත්මන් දරු පරපුර මෙන්ම මතු පරපුර වෙනුවෙන් ද ඊට කිසිවෙකු ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

    එබැවින් දේශපාලන මත සහ ජාතිවාදී අදහස් පසෙකලා සතුරා විනාශ කිරීමට එක්වන්නැයි තමා සියලූ ශ‍්‍රි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. අන්තවාදී ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකා මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක අංශ ඉටු කරන අතර එකිනෙකාගේ වෛරි ප‍්‍රකාශ සහ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කරන කටයුතු හේතුවෙන් රටේ ජනකොටස් අතර තිබිය යුතු සංහිඳියාව සහ සහයෝගය ගිලිහීයාමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලූ දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

    ත‍්‍රස්තවාදය මැඩැලීමට ආරක්ෂක අංශ විසින් ඉතා සංවිධානාත්මකව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළට අවශ්‍ය සියලූ සහය ලබාදෙමින් එය සාර්ථක කර ගැනීමට සියලූ රාජ්‍ය නිලධාරීන් කැපවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    එහිදී දිස්ති‍්‍රක් කමිටු සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අදාළ ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් නිසි පරිදි පවත්වමින් තම ප‍්‍රදේශවල ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ නිරන්තර සමාලෝචනයකට ලක් කිරීම සහ අසත්‍ය ප‍්‍රචාර සහ බිය වැද්දීම් පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට රාජ්‍ය නිලධාරින් මැදිහත්වීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පෙන්වා දුන්නේය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායක යන මහත්වරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ද මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News