පාසල් හා ආගමික ස්ථානවලට අතිරේක ආරක්‍ෂාවක්

මැයි 01, 2019

    දිවයිනේ සියලුම ආගමික ස්ථාන හා පාසල්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.

    ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අම්පාර සමන්තුරේ මල්කම් පාර ප්‍රදේශයේ, පාලු ගොඩනැගිලක් සහිත ඉඩමක තිබී පිස්තෝල 2ක්, ඊට යොදන උණ්ඩ 19ක්, ටී 56 අවි සඳහා යොදන ජීව උණ්ඩ 170ක් සමඟ කඩුවක් හමුවී තිබේ. ඒවා ප්ලාස්ටික් බඳුනක දමා වළ දමා තිබූ බව, සෝදිසිය සිදු කළ පොලිසිය නිල සුනඛයෙකු යොදා පරීක්‍ෂා කිරීමේ දී ඉදිරිපස නිවස වෙත ගොස් නැවතී තිබේ. එම නිවස අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.අයි.එම්. මන්සූර් මහතාගේ රියදුරාගේ බව පැවසේ. එහි සිටි රියදුරු ඊබ්‍රාහිම් මොහොමඩ් රනීෂ් නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ. තවද එම ස්ථානයට නුදුරින් පිහිටි නිවසක තිබී, ඩෙටනේටර් 200ක්, ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 200ක්, සමඟ ඩෙටනේටර් වයර් මීටර් 40ක් සොයා ගනු ලැබිණ. අම්පාර 24 සේනාංකයේ මෙහෙයවීමෙන්, ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    අක්කරෙයිපත්තුව, අඩ්ඩාලචේන, සින්නපාලමුණේ වෙරළේ තිබී මෙරට නිෂ්පාදිත පිපුරුම් උපාංග 6ක් සමඟ සයිනයිට් රසායන ද්‍රව්‍ය අඩංගු කුඩා බෝතලයක් සොයා ගැනිණ. නාවික හමුදාවට ලද තොරතුරක් අනුවයි, සෝදිසිය සිදු කෙරුණේ, ජීව උණ්ඩ කිහිපයක් ද ඒ අතර වේ.

    කෑගල්ල කොටියාකුඹුර නගරයේ අද අළුයම සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී, යුද උපකරණ ඇතුළු විවිධ භාණ්ඩ තොගයක් සොයා ගැණින. නිවසක මේවා සඟවා තිබූ බව, පිංදෙණිය පොලිසිය පවසයි. යුද හමුදාව භාවිත කරන ගමන් කථන 2ක්, හමුදා ලිපිගොනු, ජී.පී.එස්. උපාංගයක්, පෙට්‍රල් බෝම්බ 11ක්, පිහි 8ක්, කඩු 11ක්, විදේශ ගමන් බලපත්‍ර 16ක් දුරදක්නයක්, කැමරා 2ක් ඇතුළු උපකරණ මේ අතර තිබිණ. නිවසේ හිමිකරු සමඟ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මහනුවර අකුරණ ප්‍රදේශයේ, අද අළුයම 4.00 සිට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණ. කඩු 3ක්, ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයට අයත් සංයුක්ත තැටි, කතෝලික දහම පිලිබඳ ව්‍යාජ තොරතුරු අඩංගු පොත්, ව්‍යාජ හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර සහ ත්‍රස්ත සංවිධානයට මුදල් බැර කෙරුණ රිසිට්පත් ඇතුළු විවිධ ලිපිලේඛන රැසක් මෙහිදී සොයා ගෙන තිබේ. සැකකරුවන්, 13 දෙනෙකු අද දහවල් වනවිට අත්අඩංගුවට ගෙන තිබූ බව, යුද හමුදාව පවසයි.

    ජා-ඇළ පොලිසියට ලද තොරතුරක් මත ඒකල ප්‍රදේශයේ ඊයේ සවස සිදු කළ වැටලීමක දී අවි ආයුධ සමඟ ඒකල ජම්ඉයිලතුල් ජමාත් දේවස්ථානයේ මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගැණින. පතුරොම් තුවක්කුවක්, විවිධ වර්ගවල ජීව උණ්ඩ 80ක්, උල් පිහි කිහිපයක්, වායු රයිෆලයක්, යකඩ බෝල, සංග්‍රාමික හිස්වැසුම් ඒ අතර විය.

    පොලිසියට අවශ්‍ය බවට ප්‍රකාශයට පත් කෙරුණු, යතුරු පැදියක්, කුලියාපිටිය, කලබෑව ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. වී.සී. 4843 දරණ මේ යතුරු පැදියේ ලියාපදිංචි හිමිකරු ලෙස සඳහන් වන්නේ, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැත්තායි. එය 2017 වසරේ අගෝස්තු 16 වැනි දින අමිත් මදුෂංක නමැති අයෙකු විවෘත ලිපි ලේඛන සහිතව මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

    වැලිමඩ, සිල්මියාපුර, අලුත්කොලනිය ප්‍රදේශයේ වගා බිමක සඟවා තිබූ වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කරල් 32ක් හා ඩෙටනේටර් වයර් රෝල් 8ක් සොයා ගැණින. ඒ වැලිමඩ පොලිසියේ බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව. කැරට් වගා කර තිබූ ඉඩමක් ආසන්නයේ මල්ලක දමා තිබියදී මේවා සොයා ගැණින. විමර්ශනයකින් පසු පුපුරණ ද්‍රව්‍ය සැඟවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

    ඉස්ලාමීය ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් නමැත්තාගේ සමීපතමයෙකු වූ මොහොමඩ් තයිබු යන අයගේ දුම්මලසූරිය, හබරවැව ජනපදයේ පිහිටි නිවස ඊයේ පරීක්‍ෂාවට ලක් කෙරිණ. එහි වැසිකිලි වළකින් ජංගම දුරකතනයක් හා රුපියල් ලක්‍ෂ 18ක පමණ මුදල් තොගයක් සොයාගත් බව, දුම්මලසූරිය පොලිසිය ප්‍රකාශ කළේ. තවත් ජංගම දුරකතනයක් පුලුස්සා ලිඳකට දමා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ. දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බාරයේ සිටින මොහොමඩ් තයිබු නමැත්තාගෙන් හෙළි වූ තොරතුරු මත වැටලීම් සිදු කෙරිණ.

    පොලිසිය හා යුද හමුදාව එක්ව නිකවැරටිය රස්නායකපුර සහ කොබෙයිගනේ ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමකින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. තහනම් ඉස්ලාමීය සංවිධානයේ දේශන ඇතුලත් සංයුක්ත තැටි හා ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකතන අලෙවිසලක තිබී සොයා ගෙන තිබේ.

    Last modified on බදාදා, 01 මැයි 2019 20:22

    Latest News