අඹගමුවේ, කල් ඉකුත් වූ ත්‍රීපෝෂ බෙදා හැරලා

මැයි 01, 2019

    අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යාලය මගින් කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා හැර ඇති බව වාර්තාවේ.


    කල් ඉකුත් වී ඇත්නම් එම ත්‍රිපෝෂ පැකට් යලිත් කාර්යාලය වෙත භාරදෙන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


    අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යාලය මගින් ඊයේ (30) දින බෙදා හැරි ඇතැම් ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වි ඇති බව එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති.

    මාසෙකට එක්වරක් ගැබිණි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ අවුරුදු පහට වඩා අඩු බර අඩු ළමුන් සදහා ප්‍රදේශයේ සෞඛ්‍යය අධිකාරි කාර්යාලය මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මාසිකව මෙම ත්‍රිපෝෂ පැකට් එම පවුල්වලට අනුමත ප්‍රමාණයට බෙදා හරිනු ලබයි.

    අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යලය මගින් හැටන් ප්‍රදේශයේදි ඊයේ (30) දින ඉකුත් මසට අදාල ත්‍රිපෝෂ බෙදා හැර ඇති අතර, එසේ බෙදා හැරි ත්‍රිපෝෂ පැකට් අතර දින ගණනක් කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් කිහිපයක්ද අදාල පවුල් සෞඛ්‍යය සේවිකාව විසින් බෙදා හැරි බවයි ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ප්‍රතිලාභින් පවසන්නේ.

    බෙදා හැර තිබු ඇතැම් ත්‍රිපෝෂ පැකට් 2019.04.16 දින කල් ඉකුත් වි ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාල පවුල් සෞඛ්‍යය සේවිකාවගෙන් විමසු විට ඇය පවසා ඇත්තේ ධාන්‍ය වර්ග වියලා සකස් කර ඇති ත්‍රිපෝෂා කල් ඉකුත් වී ඇතත් එය පරිභෝජනයට ගත හැකි බවයි.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් අඹගමුව සෞඛ්‍ය අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තම කාර්යාලයට අනුමත ත්‍රිපෝෂා තොග ලැබිමෙන් පසු එය ප්‍රදේශයේ ප්‍රතිලාභින් වෙත බෙදා හරින බවයි. එසේ ලැබෙන ත්‍රිපෝෂා පැකට් පරික්ෂා කර බෙදා හැරිය යුතු බවත්, අතපසුවිමක් හේතුවෙන් කල් ඉකුත් වි ඇති ත්‍රිපෝෂ පැකට් කිහිපයත් ප්‍රදේශයේ ප්‍රතිලාභින් වෙත බෙදාහැර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. එසේ බෙදා හැර ඇති කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් යලිත් තම කාර්යයාලය වෙත ලබාදෙන ලෙසද එම නිලධාරියා ප්‍රතිලාභින්ගෙන් ඉල්ලා සිටියි.

    කල් ඉකුත් වු ත්‍රිපෝෂ පැකට් සෞඛ්‍යය අමාත්‍යංශය වෙත යවා එම ප්‍රමාණයට නව ත්‍රිපෝෂ පැකට් තොග ලබාගෙන යලිත් එම ප්‍රතිලාභින්ටම බෙදා හැරිමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.

    Latest News