බෝම්බ ප්‍රහාර මාලාවෙන් 359ක් මරුට

අප්‍රේ 24, 2019

    පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස 359 දක්වා ඉහළ ගොස් තිබේ.

    විමර්ශන යටතේ දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. බේරුවල, අලුත්ගම-දර්ගා නගරය, වරකාපොළ සහ මීගමුව කටුවාපිටිය ප්‍රදේශයන්හි ඊයේ රාත්‍රී ක්‍රියාත්මක කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී විවිධ උපකරණ හා රථවාහන සමඟ 18 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ-අඟුරුවැල්ල මාර්ගයේ මොහොමඩ් මෂ්ජීඩ් මාවතේ නිවසක් පරීක්‍ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්‍ෂක අංශ එහි සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වෝර්කි-ටෝර්කි උපාංග 04ක්, එස්.ජී.පී.එච්. 3779 දරණ වෑන් රථය හා යතුරු පැදියක් ද සමඟයි. එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි.

    Curfew new px 900 24 04 19

    බේරුවල කංකානම්ගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් විශේෂ පරීක්‍ෂාවකට ලක් කෙරිණ. එහිදී තවුහිද් ජමාද් සංවිධානයට බඳවා ගැනෙන අයදුම්පත් තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල පොලිසිය මෙම නිවාස පරීක්‍ෂා කර ඇත්තේ, කලුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව.
    එම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්. තවත් දෙදෙනෙකු බේරුවල පදිංචිකරුවන් බවට සනාථ වී තිබේ. කුරුණෑගල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ අදත් හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ. ඒ, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය ඒකාබද්ධවයි. සැකකටයුතු නිවාස, ස්ථාන සහ රථවාහන රැසක් පරීක්‍ෂා කෙරුණු බව, කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා පවසයි. කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලක්දාස් විද්‍යාලය ආසන්නයේ තිබූ සැක සහිත පාර්සලයක් ද, වත්හිමි පාරේ ගලේබණ්ඩාර දේවාලය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක් ද දැඩි පරීක්‍ෂාවට ලක් කරනු ලැබීය. අප වාර්තාකරු පැවසුවේ කරුණෑගල මහ රෝහලේ රථ ගාලේ දින තුනක සිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් ද පරීක්‍ෂා කෙරිණ.

    Security px 900 24 04 19

    වාහන නවතා තබා යාමේදී එහි හිමිකරුගේ නම ලිපිනය සහ දුරකතන අංකය පැහැදිලිව පෙනෙන සේ වාහනය ඉදිරිපස අලවා තබන ලෙස පොලිසිය දැනුම් දෙයි.

    මේ අතර, වැල්ලවත්ත ගාලු පාරේ සිනමා ශාලාවක් අසළ සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද පුපුරුවා හරනු ලැබීය. සැක කටයුතු කිසිවක් ඒ තුළ තිබී හමු නොවූ බවයි, වාර්තා වන්නේ. කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක දමාගොස් තිබූ සැකකටයුතු පාර්සලයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ආරක්‍ෂාකාරී ලෙස පුපුරුවා හැර තිබේ.

    පිටකොටුව, ගෑස්පහ හන්දිය අසල නවතා තිබූ සැක සහිත යතුරු පැදියක් ද පරීක්‍ෂා කර අද පස්වරුවේ ආරක්‍ෂිතව පුපුරුවා හරිනු ලැබීය. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය විසින්. යතුරු පැදියේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 20:32

    Latest News