ත‍්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතට; හෙට ජාතික ශෝක දිනයක්

අප්‍රේ 22, 2019

    ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස්වූ අතර එහි දී වැදගත් තීරණ කිහිපයකට එළැඹි බව නිවේදනය කෙරේ.

    ඒඅනුව ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.

    මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඊයේ සිදු කළ ත‍්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව හා ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිතුමා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එහි දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනු ඇත. දේශීය ත‍්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

    මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

    රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

    මේ අතර අද රාත්‍රී 8.00 සිට හෙට අලූයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර තිබේ.

    Latest News