මෙරට විශාලතම වඩු පාසල යළි පණ ගැන්වේ

අගෝ 22, 2024

    වසර 14කට අධික කාලයක් අකර්මණ්‍යව වසා දමා පැවති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලම වඩු පාසල වන "කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය" යලි පිළිසකරකර නැවතත් දැයේ මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ උත්සවයක් ඊයේ (21) දින සිදුවුණා.

    ඒ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇ‍රැහැපොල මහතාගේ ප්‍රධානත්වයෙන්.

    1960 දී ආරම්භ කරන ලද මෙම ආයතනය 2008 දී අකර්මණ්‍ය වන තෙක්ම පළාත් නවයම ආවරණය පරිදි නේවාසික යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් පාඨමාලාව පැවැත්වුනි.

    නමුදු අවාසනාවන්ත ලෙස පරිහාණියට ලක්වෙමින් වසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ මෙම ජාතික සම්පතට යලි පණ දීමේ අභියෝගය කර්මාන්ත අමාත්‍ය, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමාගේ සෘජු මැදිහත් වීම යටතේ එවකට ලක්සල ආයතනයේ සභාපතිවශයෙන් කටයුතු කල ලක්මාල් වික්‍රමආරච්චි මහතාගේ සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතාගේ එකගතාවය පරිදි යළිජාතික ශිල්ප සභාවට පවරා ගන්නා ලද්දේ 2022 වසරේදීය.

    ගරා වැටෙමින් තිබූ ගොඩනැගිලි යලි ප්‍රතිසංස්කරණය කර, යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර, දේශණ ශාලා සහ ශිෂ්‍ය නේවාසිකාගාර නවීකරණය කර යලි පුහුණු කටයුතු ආරම්භ කරන ලද්දේ ජාතික ශිල්ප සභාවේ නිළධාරින් සතු අභියෝග ජයගැනීමේ හැකියාවද මනාව පිළිබිඹු කරමිනි.

    සියලුම පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන වඩු පාසල් සමඟ ජාලගත කර ඇති මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමක් සහිත වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ලෙස සැලකේ. සිසුන් 80 ක් සඳහා නේවාසික පාඨමාලාවක් ලෙස කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය" විසින් නොමිලේ පවත්වනු ලබන එක් අවුරුදු වඩු තාක්ෂණික උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා NVQ 4 මට්ටම හිමිවේ.

    දියුණු  තාක්ෂණික මෙවලම් වලින් සමන්විත මෙම වඩු පාසල වඩු කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක  වන අතර මෙහි පුහුණුව ලබන්නන් හට ගෘහභාණ්ඩ ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ දොන් කරෝලිස්, A.T. කුරේ, දම්රෝ වැනි පෞද්ගලික ආයතන හා එක්ව ප්‍රායෝගික  පුහුණුව ලබාදීමට ජාතික ශිල්ප සභාව සැලසුම් කර ඇත.

    එසේම, රාජ්‍ය අංශය, විශ්ව විද්‍යාල හා පුද්ගලික අංශය යන අංශ තුනේම සහයෝගය ඇතිව මෙහි පුහුණු පාඨමාලා පැවැත්වීමට ජාතික ශිල්ප සභාව සැලසුම් කර තිබේ.

    දැනට දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් සඳහා තම හැකියාව ඇගයීමට ලක්කිරීම (RPL) මගින් ඔවුන් වෙතද ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබාදීමටද මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී සැලසුම් කර ඇත.

    මෙම විවෘතකිරීමේ අවස්ථාවට සමගාමීව පසුගිය වසරේ පළාත් මට්ටමින් පැවති මූලික පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා නිමකල පුහුණුලාභීන් වෙත සහතිකපත් ප්‍රදානය ද මෙහි දී සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) අරුණ බණ්ඩාර, මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය කමල් වාසල, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂවරු, ආයතනයේ ව්‍යවසායක ආදි සිසුන්, ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්,සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    2

     

    4

    3

    Latest News